මේ මහල් නිවාසවල පදිංචි දරුවන් වෙනුවෙන් ජාතික වැඩසටහනක් - අදින් ඇරඹෙයි
නාගරික මහල් නිවාස සංකීර්ණවල පදිංචි දරුවන් සහකම්පනයක් සහිත සුබවාදී ආකල්පවලින් පිරිපුන් දරු පරපුරක් බවට පරිවර්තනය කිරීමට ‘සාම ළමා සමාජ’ ජාතික වැඩසටහන ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම සමාරම්භක වැඩසටහන කොළඹ 15, මෝදර, හේනමුල්ල, ‘මිහිජය සෙවණ’ නිවාස සංකීර්ණය කේන්ද්‍රකර ගනිමින් අද දින (17) ආරම්භ කර තිබෙනවා.
එසේම මෙම වැඩසටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වූ කාර්යාලය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංහිඳියාවේ දරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති බව සඳහන්.
කොළඹ නාගරික මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය නැංවීමට ක්‍රියාත්මක කර ඇති භෞතික යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීවයි මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත.
මෙමඟින් ඒකාකාරී සීමා මායිම් මධ්‍යයේ සංකීර්ණ දිවි පෙවෙතකට දිගුකාලීනව අනුගතව සිටින මහල් නිවාස වැසියන් සහ ඔවුන්ගේ දූ දරුවන් ආකල්පමය වෙනසක් තුළින් බලගැන්වීම මෙමගින් අපේක්ෂා කරයි.
එසේම විවිධ ජාතීන්, ආගම්, සමාජ ස්ථරයන් සහිත ජන කොට්ඨාස අතර විශ්වාසය, ආදරය, සහකම්පනය, සහෝදරත්වය වර්ධනය කිරීමත් දූෂණය, අපචාර, අක්‍රමිකතාවන් පිටුදකින ලද නීතිගරුක පුරවැසියෙකු කුඩාකල සිට ගොඩනංවා අනාගතය සඳහා නිර්මාණය කරගැනීමත් මෙහි දිගුකාලීන සැලසුම වේ.
මෙම වැඩපිළිවෙල 2026 වසර තුළ දී කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ පහක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ කොළඹ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ‘මිහිජය සෙවණ’, ‘රන්දිය උයන’, ‘මුවදොර උයන’, ‘සිරිමුතු උයන’ සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ‘ලක්සඳ සෙවණ’ යන මහල් නිවාස සංකීර්ණවල පදිංචි දරුවන් වෙනුවෙන් මෙම ළමා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරයි.
එමෙන්ම කුසලතා පිරිපුන්, සමාජ වගකීම් දැරිය හැකි, පෞරුෂයක් සහිත දරුවෙකු නිර්මාණයට අමතරව පාසල් අතරමග හැරදමා ගිය සහ පාසල් නොයන දරුවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් නැවත ලබාදීම මෙම වැඩසටහනේ විශේෂ අරමුණක් බව සඳහන්.