"වසර දෙකක් ගියත් ඉටු කළේ වැටුප් වැඩි කිරීම විතරයි" - වතුකරයේ පොරොන්දු කඩකිරීම ගැන පලනි දිගම්බරම්ගෙන් රජයට චෝදනා
වත්මන් රජය වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා පොරොන්දු රැසක් ලබා දුන්නද, බලයට පත්ව වසර දෙකක් ගතවී තිබියදී එම පොරොන්දු අතරින් ඉටු කර ඇත්තේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පමණක් බව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නියෝජ්‍ය නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා චෝදනා කළේය.
හැටන් නගරයේ පැවති ජාතික කම්කරු සංගමය සහ ජාතික කම්කරු පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ රැස්වීමකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රජය බලයට පත්වූ මුල් වසර දෙක තුළ විපක්ෂය ඉවසීමෙන් කටයුතු කළද, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොවීම හේතුවෙන් දැන් ඒ පිළිබඳව හඬ නැගීමට සිදුව ඇති බවයි.
දමිළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එක්ව රජයෙන් ලබාදුන් පොරොන්දු ඉටු කර ගැනීම සඳහා සන්ධානයක් ගොඩනඟා ඇති බවත්, එම සාකච්ඡාවලට තමන්ටද ආරාධනා ලැබී ඇති බවත් දිගම්බරම් මහතා පැවසීය.
දමිළ ප්‍රගතිශීලී සංධානය ජනාධිපතිවරයා හමුවූ අවස්ථා කිහිපයකදී වතුකරයේ ජනතාවට පොරොන්දු වූ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත්, එහිදී වතු කම්කරුවන්ට ලබාදීමට සුදුසු ඉඩම් කොතැනදැයි ජනාධිපතිවරයා තමන්ගෙන් විමසා සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගය බලයට පත් කිරීමට සහය දැක්වූ ජනතාවගෙන් පිරිසක් වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට එම පක්ෂයෙන් ඈත් වෙමින් සිටින බවටද පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් අදහස් පළ කළේය.