''ගල්අඟුරු ගැටලුව දිගටම අරන් යන්නේ මාධ්‍ය නාළිකා කිහිපයක් විතරයි, ඔවුන්ගේ බොරුවට වැඩි ආයුෂ නෑ '' ඇමති ප්‍රසන්නගෙන් චෝදනා
විපක්ෂයේ පිරිසක් සමඟ නාළිකා කිහිපයක් දිගින් දිගටම ගල්අඟුරු මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තාක්ෂණික කමිටු මඟින් නිසි පරිදි සිදුකර තිබියදී එහි වරදක් සිදුව තිබෙන බව පෙන්වා දීමට උත්සාහ කරන බවත්, ඔවුන්ගේ බොරුවට වැඩි ආයුෂ නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කර ඇත.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය අද උද්ඝෝෂණ හා විරෝධතා තිබෙන ස්ථානවලට ගොස් ලෙයින් ලියා පොරොන්දු දෙන මට්ටම දක්වා ලඝු වී ඇති බව ප්‍රකාශ කර තිබේ .
නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මේ රැස්වීම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ
එහිදී තව දුරටත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
“ගල්අඟුරු සම්බන්ධ කතිකාව දිගින් දිගටම අරන් යන්නේ මාධ්‍ය නාළිකා කිහිපයක් විතරයි. ඔය පිළිබඳ සාකච්ඡා ඇමැතිවරයාත්, නියෝජ්‍ය ඇමැතිවරයාත් අදාළ නිලධාරීනුන් පැහැදිලිව ඉලක්කම් සහිතව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් ගියා. ඒ දවසේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉලක්කම් සහිතව පෙන්වා දුන්නා. ඒ විදිහට කරුණු කාරණා පැහැදිලිව ඉදිරිපත් කරද්දී ඒවා ඇහෙන්නේ නැත්නම් ඒ ගැන එතැනින් එහාට අපට කරන්න දෙයක් නැහැ. පසුගිය කාලයේ ගල්අඟුරු ටෙන්ඩර් ගියේ කොහොමද කියන එකත් දැන් මේක පාරදෘශ්‍ය භාවයෙන් සිදු කෙරෙන්නේ කොහොමද කියන එකත් පේන්න තියෙනවා.
ඒ සියලු දේවලුත් තාක්ෂණික කාරණාත් සමඟ පෙන්වා දී තිබියදී වංචාවක් සිදුව තිබෙන බවට බොරු කියමින් ඒක ඉදිරියට ඇදන්යන්න හදනවා නම් ඒකට වැඩි අයුෂ නැහැ. යම් කාරණාවක් ටික කාලයක් බොරුවට ඇදගෙන යන එක විපක්ෂයේ ලක්ෂණයක්. ස්ට්‍රයික් එකක් පිකටින් එකක් තියෙන්නේ කොතනද විපක්ෂ නායකයා එතන. ඒ තැන්වලට ගිහින් ලෙයින් අත්සන් කර දෙන්නම් කියනවා. ඒක තමයි ඒ අයගේ දේශපාලනය.
සියලුම තාක්ෂණික කමිටුවලින් මේ ගල්අඟුරු මිලට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියම විදිහට කර තිබෙනවා. අපි ඉදිරිපත් කළ ටෙන්ඩරයට අනුව ගල්අඟුරු ප්‍රමිතියෙන් යුතුව නොලැබුණොත් ඒ සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කරනවා. වන්දි ලබා ගැනීමට පියවර ගන්නවා. ඒ ගැන කතා කරද්දී විපක්ෂය හා නාළිකා කිහිපයක් බොරුවක් සමාජගත කරන්න හදනවා.”