ජාතික රෝහලේ නව කැත් රසායනාගාර ඒකකය විවෘත කෙරේ
ශ්‍රී ලංකා ජාතික රෝහලේ අලුතින් ඉදිකරන ලද හෘද කැතිටර්කරණ රසායනාගාර දෙක සහ නවීන පහසුකම්වලින් සමන්විත හෘද රෝග සායනික අංශය අද (02) පස්වරුවේ සිට රෝගීන් වෙනුවෙන් විවෘත කර තිබේ.
දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් වඩාත් කඩිනම් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 600කට අධික පිරිවැයක් දරමින් මෙම ව්‍යාපෘතිය නිම කර ඇත. කෘතිම බුද්ධි තාක්ෂණය මඟින් ක්‍රියාත්මක වන සජීවී රූපකරණ පද්ධති මෙම ඒකක සතු වන අතර, එමඟින් ෆ්ලුරොස්කොපි පරීක්ෂණවලදී රෝගීන්ට නිරාවරණය වන විකිරණ මට්ටම අවම කරමින් ඉතා පැහැදිලි රූප ලබාගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව හිමිවේ.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව යාවත්කාලීන කිරීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ, රුපියල් මිලියන 1200ක ආයෝජනයකින් යුතුව මේ සතියේ පමණක් රජයේ රෝහල් පද්ධතියට මෙවැනි නවීන කැත් රසායනාගාර 4ක් එක් කර තිබීම විශේෂත්වයකි.
ඒ අනුව මීට පෙර ජුනි 27 වැනිදා යාපනය ශික්ෂණ රෝහලේ ද, ජුනි 30 වැනිදා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ද නව කැත් රසායනාගාර ඒකක ජනතා අයිතියට පත් කෙරුණි.
මෙහිදී විශේෂ ප්‍රකාශයක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා, ඉදිරි 2029 සැප්තැම්බර් මාසය වන විට ජාතික රෝහල් පරිශ්‍රයේ මහල් 16කින් සමන්විත දැවැන්ත 'ජාතික හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය' ස්ථාපිත කිරීමට නියමිත බව පැවසීය.
මේ සඳහා දැනටමත් රුපියල් බිලියන 12ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, මෙරට හෘද රෝගීන්ට මින් විශාල සහනයක් සැලසෙනු ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ජාතික රෝහලේ දැනට පවතින්නේ වසර 10ක් පැරණි කැත් රසායනාගාරයක් පමණක් බවයි.
නව රසායනාගාර ද්විත්වය සමඟ එහි සමස්ත ධාරිතාව රසායනාගාර 3ක් දක්වා ඉහළ යන අතර, එමඟින් දෛනිකව රෝගීන් 45 දෙනෙකුට පමණ ප්‍රතිකාර දීමේ හැකියාව ලැබේ.
දැනට දිවයින පුරා සක්‍රීයව පවතින කැත් රසායනාගාර 10ක සංඛ්‍යාව ඉදිරියේදී 26 දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බවත්, එමඟින් දැනට පවතින වසරක පමණ දීර්ඝ හෘද රෝග පොරොත්තු ලේඛනය මාසයක් දක්වා කෙටි කිරීමට අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.