ලන්ඩනයට උතුරින් මාරක දුම්රිය අනතුරක් - මරණයක් සමඟ 90කට ආසන්න පිරිසකට තුවාල
ලන්ඩනයට සැතපුම් 60ක් (කිලෝමීටර් 100ක්) පමණ උතුරින් පිහිටි ප්‍රදේශයක දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය සිකුරාදා නිවේදනය කළේය.
අනතුර සිදුව ඇත්තේ බෙඩ්ෆර්ඩ් නගරයට දකුණින් පිහිටි දුම්රිය මාර්ගයකදීය. සවස 5.15ට (GMT 1615) පමණ හදිසි සේවා කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇති අතර, එහිදී නැගෙනහිර මිඩ්ලන්ඩ්ස් දුම්රිය සේවයට අයත් දුම්රිය දෙකක් අනතුරට ලක්ව තිබුණි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝ දර්ශනවලින් දැක්වුණේ එක් දුම්රියක ඉදිරිපස කොටස අනෙක් දුම්රියේ පිටුපස කොටසට ගැටී ඇති අතර, මැදිරි රේල් පීලි මතම රැඳී සිටින ආකාරයයි.
අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්, “ජීවිතය අහිමි වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සහ බරපතල තුවාල ලැබූ සියලු දෙනා සමඟ මගේ සිතුවිලි ඇත” යැයි සඳහන් කළේය.
ඉහළ එංගලන්ත ගිලන්රථ සේවාව පවසන්නේ ගිලන්රථ 20කට අධික සංඛ්‍යාවක් සහ ගුවන් ගිලන්රථ හයක් ඇතුළුව විශාල හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් මෙහෙයුම සඳහා යොදවා ඇති බවයි.
නිල වාර්තා අනුව එක් පුද්ගලයෙකු අනතුරු ස්ථානයේදීම මියගොස් ඇති අතර, පුද්ගලයින් 11 දෙනෙකුට ඉතා බරපතල තුවාල සිදුව තිබේ. තවත් 22 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර 56 දෙනෙකු සුළු තුවාලවලට ලක්ව ඇති බව වාර්තා වේ.
අනතුරට හේතුව සොයා බලමින් විමර්ශන ක්‍රියාත්මක අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හදිසි සේවා මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මක බව නියෝජ්‍ය ප්‍රධාන කොස්තාපල් ස්ටුවර්ට් කන්ඩි සඳහන් කළේය.
අනතුර සිදුවූ දුම්රියේ ගමන් කළ බව පවසන වෛද්‍ය පීටර් නැප් සමාජ මාධ්‍ය වේදිකාවක් වන බ්ලූස්කි හරහා ප්‍රකාශ කර ඇත්තේ, එක් මැදිරියක් රේල් පීලිවලින් ඉවතට පැන තිබූ අතර එය “බරපතල දුම්රිය අනතුරක්” ලෙස විස්තර කළ හැකි බවයි.
ඔහු ද මෙම අනතුරෙන් සුළු තුවාල ලබා ඇති බව සඳහන් කර තිබේ.