ලොස් ඇන්ජලීස් නගරය රත් කරමින් විශාල ගින්නක් - හෙලිකොප්ටර් යොදා ගනිමින් ගින්න පාලනයට දැවැන්ත උත්සාහයක්

Report

අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයට ආසන්න බොයිල් හයිට්ස් ප්‍රදේශයේ වාණිජ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් පනවා තිබූ පැය ගණනක් පැවති ''ඇතුළත රැඳී සිටීමේ නියෝගය” පසුව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළේය.

දකුණු ලොස් පැලෝස් වීදිය හි 1400 කොටසෙහි පිහිටි Lineage නම් විශාල සීතල ආහාර ගබඩා පහසුකම් පැවති වහලයේ සෝලා පැනල් පද්ධතියක ගින්නක් හටගෙන ඇති බව ලොස් ඇන්ජලීස් ගිනි නිවීම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම ගොඩනැගිල්ල වර්ග අඩි 4,91,000කට ආසන්න විශාලත්වයකින් යුක්ත වේ.

ලොස් ඇන්ජලීස් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජේමි මුවර් සඳහන් කළේ වහලයේ සෝලා පැනල් පද්ධතියම ගින්නෙන් දැවී ගිය බවයි.

“ගින්න ඇතිවුණේ සෝලා පැනල් මතයි.එය වහල මතුපිට ගින්නක්,” යැයි ඔහු පැවසීය. ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලෙන් කළු දුමාරය අහසට විහිදී කිලෝමීටර් ගණනාවක් දුරට පෙනී ගිය අතර, සවස් කාලයේදී සුළඟ දුර්වල වීම හේතුවෙන් දුමාරය සැන් ගැබ්රියෙල් නිම්නය දෙසට පැතිර ගිය බව වාර්තා වේ.

ගින්න අතරතුර ගිනි නිවීම් කණ්ඩායම් වහලයෙන් ඉවත් කර තිබුණද, පසුව ලැඩර් ට්‍රක් රථ සහ ගුවන් හෙලිකොප්ටර් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත. සාමාන්‍යයෙන් වනාන්තර ගිනි සඳහා භාවිතා කරන ජල බිඳිති හෙලිකොප්ටර් තුනක්ද මෙහිදී යොදාගෙන ඇත.

මෙම ගින්න අතරතුර අමෝනියා නළයක් හානි වීම හේතුවෙන් බලධාරීන් විසින් ''ඇතුළත රැඳී සිටීමේ නියෝගය” නිකුත් කළ අතර, පසුව නළ වසා දැමීමෙන් අමෝනියා කාන්දුව පාලනය කර ඇත.

පසුව සිදු කළ පරීක්ෂණවලදී වායු හා ජල ගුණාත්මකභාවය සාමාන්‍ය මට්ටමේ පවතින බව වාර්තා වී තිබේ.

එම නියෝගය ලොස් ඇන්ජලීස් නගර මධ්‍යයට ආසන්න ප්‍රදේශ කිහිපයකට බලපෑ අතර, ජනතාවට ජනෙල් සහ දොර වසා ගෘහස්ථව සිටින ලෙස උපදෙස් ලබාදී තිබුණි. පසුව රාත්‍රී 8.45ට පමණ එම නියෝගය ඉවත් කෙරිණි. ගින්න හේතුවෙන් ප්‍රදේශවාසීන් 70කට ආසන්න පිරිසක් තාවකාලිකව ඉවත් කර ඇති අතර, තුවාල කිසිවක් වාර්තා වී නොමැත.

සිද්ධිය සිදුවු අවස්ථාවේදී ගින්න පාලනය සඳහා ගිනි නිවීම් නිලධාරීන් 130කට වැඩි පිරිසක් යොදවා තිබූ අතර, ලොස් ඇන්ජලීස් කවුන්ටි ගිනි නිවීම් දෙපාර්තමේන්තුවද සහාය ලබාදී ඇත.

මෙම ගොඩනැගිල්ලේ සෝලා පැනල් ගින්නක් 2024 අගෝස්තු මාසයේදීද හටගෙන ඇති බවද වාර්තා වේ.