හෝමූස් හරහා එක තෙල් හෝ ගෑස් බිංදුවක්වත් යවන්න දෙන් නෑ - ඉරානයේ රතු එළි මැද අද බොරතෙල් මිල අහස උසට යයි
එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් උග්‍ර වීම නිසා හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන බලශක්ති ප්‍රවාහන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
ඒ හේතුවෙන් අද (20) දින උදෑසන ආසියානු වෙළෙඳපොළ ආරම්භයේදීම බොරතෙල් මිල 3%කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වෙළෙඳපොළෙහි මෙම වෙනස සිදුව ඇත්තේ ඉරාන ඉලක්ක වෙත ඇමෙරිකානු හමුදාව පිට පිටම 9 වැනි රාත්‍රියේත් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව බවයි.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 2.75කින් හෙවත් 3.12%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 90.85ක් ලෙස සටහන්ව වී ඇති අතර WTI බොරතෙල් මිල ඩොලර් 2.56කින් හෙවත් 3.10%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 85.05ක් දක්වා ළඟා වී ඇති බව සඳහන්.
මේ අතර ලෝකයේ සමස්ත තෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් එකවරම පර්සියානු ගල්ෆ් කලාපය තුළ සිරවීමත් සමඟ, වෙළෙඳුන් විසින් සැපයුම් අවදානම සහ සමුද්‍රීය රක්ෂණ ගාස්තු ඉහළ යාම ශීඝ්‍රයෙන් මිල ගණන්වලට එකතු කරමින් සිටින බැවින්, ඉදිරියේදී තවදුරටත් මිලෙහි අස්ථාවරත්වයක් පැවතිය හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවයි.
මෙවන් පසුබිමක ඇමරිකානු "ආක්‍රමණශීලීත්වය" දිගටම පැවතුනහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා "එක තෙල් හෝ ගෑස් බිංදුවක්"වත් නොයන බවට ඉරානය පොරොන්දු වන බවටද තොරතුරු වාර්තා වේ.