කොන්දේසි සම්පූර්ණ කරලා නැති නිසා,ඊළග IMF වාරිකය නෑ?
ප්‍රධාන කොන්දේසි සපුරා නොමැති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි එම අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානි එවන් පැපජෝජියෝ අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඊට අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවම වශයෙන් තවත් මාස කිහිපයක්වත් ගතවනු ඇතැයිද ඔහු සඳහන් කරන්නේය.
පළමුව, රටට පිරිවැය මත තීරණය වන විදුලි ගාස්තුවක් හඳුන්වා දිය යුතු බවත්, ස්වයංක්‍රීය විදුලි මිල කරණ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වන බවට සහතික විය යුතු බවද ඔහු පැවැසීය. දෙවනුව, බහුපාර්ශ්වික හවුල්කරුවන් කැපවී සිටින බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා ඇති බව තහවුරු කිරීම සඳහා රජය මූල්‍ය සහතික සමාලෝචනයක් සම්පූර්ණ කළ යුතු බවද මෙරට මෙහෙයුම් ප්‍රධානියා පවසන්නේය.
ජාත්‍යන්තර අරමුදල විසින් විදුලි මිල ඉහළ දැමීම සඳහා දින නියමයක් නිකුත් කර නැතත්, සැබෑ විදුලි උත්පාදන පිරිවැයට ගැළපෙන පරිදි ගාස්තු කඩිනමින් සකස් කරන ලෙස රජයට නැවත නැවතත් මතක් කර දී ඇති බව ඔහු අවධාරණය කරන්නේය. දැනට පවතින මිල ක්‍රමය හුදෙක් පිරිවැය ආවරණය නොවන බවත්, ලංකා විදුලිබල මණ්ඩලය රාජ්‍ය මූල්‍යයට බරක් නොවිය යුතු බවද ඔහු අනතුරු අඟවන්නේය.
අප්‍රේල් මස අවසානය වන විට නිසි තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකාවට ව්‍යුහාත්මක සන්ධිස්ථානයක් මග හැරී ගිය බවද ඔහු පෙන්වා දෙන්නේය. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන තුරු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 344 ක පස්වන වාරිකය නිකුත් කිරීම ගැටලුවක් බවත්, එය ඩොලර් බිලියන 3 ක පැකේජයක කොටසක් බවද ඔහු සඳහන් කරන්නේය. මෙම නව නිකුතුව අනුමත වුවහොත් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු අරමුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1.722 ක් දක්වා ඉහළ යනු ඇතැයිද නියෝජිතවරයා සඳහන් කරන්නේය.
