මම වැලිකඩ හිරගෙදර හිටියනේ මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා හිරගෙදර ඇතුළේ හිටියේ නැහැ - චමින්ද විජේසිරි
තමා වැලිකඩ බන්ධනාගාරයේ සති දෙකක කාලයක් සිටියද මහ බැංකු බැඳුම්කර වංචාව ඇතුළු මහා පරිමාණ දූෂණවලට වගකිවයුතු කිසිදු පුද්ගලයෙකු එහි සිටිනු නොදැකී බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතාව බලය ලබා දෙන්නේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට මිස සදාකාලිකව බලයේ රැඳී සිටීමට නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, දේශපාලන ඉරණම තීන්දු කරන්නේ රටේ ජනතාව බව ද අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ,
“මම වැලිකඩ හිරගෙදර සති දෙකක් විතර හිටියා. මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා ඒ හිරගෙදර ඇතුළේ හිටියේ නැහැ. උගන්ඩාවේ සල්ලි සඟවපු හොරු, සුදුලූනු, සීනි, පාස්පෝට් වංචාවල හොරු බන්ධනාගාරයේ හිටියේ නැහැ. ජනාධිපතිතුමා විපක්ෂයේ ඉද්දි පෙන්නපු ෆයිල් හාරසියයේ එක හොරෙක්වත් මම හිරගෙදර ඇතුළේ දැක්කේ නැහැ” යනුවෙනි.