ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීම පිළිබඳ අලුත් නියෝගයක් - පොලිස්පතිට කතා කරලා නැහැ ඒක බොරුවක්
2025.10.10 වන දින උදෑසන කාලයේ ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුලදී රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හට නීතිඥවරයෙකු විසින් යම් සිදුවීමක් මුල්කරගෙන පරුෂ වචනයෙන් බැණ වදිමින් සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියට අදාල වීඩියෝ දර්ශන නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ද ප්‍රකාශ සටහන් කර මෙම සිදුවීම සම්බන්ධව තවදුරටත් ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඒ අනුව ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ පරිශ්‍රයේ ඇති CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන්නැයි අධීකරණය අද නියෝග කළේ ය.
ඒ, ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින්, ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය ඉදිරියේ කරුණු දක්වමින් කළ ඉල්ලීමක් සලකා බලමින් ය. අධිකරණ භූමිය තුළ නීතිඥවරයාගේ වාහනය සහ බන්ධනාගාර බස් රථයක් නතර කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුගිය 10 වනදා එම සිද්ධිය වාර්තා විය.
අදාළ නීතිඥවරයා, ගල්කිස්ස පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශ කර ඇත්තේ, තමා පහරදීමක් නොකළ බවයි.
කෙසේ වෙතත්, ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිට තිබුණේ නැහැ. මෙම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයේ සිද්ධියට සම්බන්ධ නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකථනය හරහා පොලිස්පතිතුමා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ආකාරයට එම අවස්ථාවේ ඔහු විසින් "ප්‍රියන්ත මගේ ජූනියර් බැජ් එකේ..." "ප්‍රියන්තට කියන්න ගල්කිස්ස උසාවිය ඇතුළෙදී ....." "ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න...." යනුවෙන් එම වීඩියෝ පට දර්ශන මඟින් දක්නට ඇත.
එමඟින් මෙම නීතිඥ මහතා විසින් පොලිස්පතිවරයා සෘජුවම අමතා මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට වැරදි මතයක් සමාජ ගත වෙමින් පවතී.
නමුත් මෙම සිදුවීමට අදාලව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිඳු දුරකථන සංවාදයක් සිදුවී නොමැති බව ද සඳහන් සීසීටීවී දර්ශන හා සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ලබාගත් ප්‍රකාශ උපයෝගී කරගනිමින් මේ පිළිබඳ ගල්කිස්ස කොට්ඨාස භාර නිලධාරි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.