ඩැන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අද දුන් අධිකරණ තීන්දුව(UPDATE)
අද (3) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් ඊයේ(2) දින සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවාගෙන විමර්ශනය කිරීමට පොලීසියට අවසර ලබා දී ඇත.
බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට පමුණුවා මෙම නියෝගය ලබා ගෙන තිබෙනවා.
විමර්ශනවල ප්‍රගතිය සහ සැකකරුට අපරාධය සමග ඇති සම්බන්ධය පිළිබඳ විස්තරාත්මක වාර්තාවක්ද මෙහිදී පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ අනුව පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ සැකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඉඩ ලබා දෙන ලෙසයි.
අධිකරණය විසින් ඒ සඳහා අවසර හිමි වූ අතර විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙසටත් මෙහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.
--------------------------------------------------
ඩෑන් ඝාතනයේ සුලමුල (3.42)
සමාජ ක්‍රියාකරුවකු මෙන්ම දේශපාලන ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කළ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකාර වෙඩික්කරු ඊයේ දින (02) පස්වරුවේ කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින්. අදාළ ඝාතනය සම්බන්ධයෙන් බන්දුල පියල් හා මාධව සුදර්ශන යන පිය පුතු දෙදෙනාට චෝදනා එල්ල විය.
ඒ සමඟ ඔවුන් සිය නිවෙස් අතහැර පලාගොස් සැඟවී ඇත. මෙසේ චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනා ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරාගේ ද ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් විය.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දියත් කිරීමත් සමඟ ඊට දින දෙකකට පසුව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සිදු විය.
එහිදී දුලාන් නැමති එම පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ, කංජිපානි ඉම්රාන් නැමති ප්‍රබල අපරාධ කල්ලි නායකයාගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදු කළ බවයි.
එහිදී මෙම පිය පුතු දෙදෙනාගේ ද සම්බන්ධයක් ද ඇති බව අනාවරණ වී තිබේ. ඒ අනුව ඊයේ පස්වරුවේ සැකකාර පියපුතු දෙපළගේ පියා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
බන්දුල පියල් නැමති සැකකරු වයස අවුරුදු 52 ක් වන වෑබඩ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් විය.
බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර අපරාධ කොට්ඨාසය මඟින් සිදු වේ.
