ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට සුබ ආරංචියක් - නව පනනක් සමඟ සහන ණයක්
ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ගේ හජ් වන්දනාව වඩාත් විධිමත් සහ පහසු කිරීම වෙනුවෙන් නව ‘හජ් පනතක්’ සකස් කර ඇති බවත්, එය මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපළගම මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එසේම එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,
"ලංකාවේ වෙසෙන මිලියන දෙකකට අධික මුස්ලිම් ජනතාව වෙනුවෙන් හජ් වන්දනාව විධිමත් කිරීම අපේ අරමුණයි. දැනට මේ සම්බන්ධයෙන් පවතින්නේ 2013 වසරේ සිට ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ මාලාවක් පමණයි. එය විධිමත් පනතක් බවට පත් කිරීම හජ් කමිටුවේ ප්‍රමුඛ කාර්යයක් ලෙස අප භාර ගත්තා. මේ වන විට එම පනත් කෙටුම්පත සකස් කර අවසන් කර නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. මෙම පනත සම්මත වීමෙන් පසු බැතිමතුන්ට වඩාත් විධිමත් සේවාවක් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා." යනුවෙන් පැවසුවා.
ඊට අමතරව ඔහු හජ් බැතිමතුන් වෙනුවෙන් රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ද කරුණු පැහැදිලි කළා.
ඒ අනුව, මීනා, අරෆා සහ මුස්දලිෆා යන ස්ථානවල බැතිමතුන්ට ලැබෙන නවාතැන් සහ අනෙකුත් පහසුකම් මෙතෙක් පැවති ‘සී’ කාණ්ඩයේ සිට ‘බී’ කාණ්ඩය දක්වා ඉහළ නැංවීමට රජය සමත් වී ඇති බවත් ප්‍රවාහන පහසුකම් ද වැඩි දියුණු කර ඇති අතර, එක් බස් රථයක බැතිමතුන් 50 දෙනෙකු බැගින් ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බවත් කියා සිටියා.
එමෙන්ම හජ් වන්දනාව වෙනුවෙන් වැය වන අධික පිරිවැය පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා.
"හජ් වන්දනාව සඳහා රුපියල් ලක්ෂ 20 සිට 25 දක්වා විශාල මුදලක් වැය වන බව අප දන්නවා. පසුගිය වසරේදී අප එම මුදල යම් ප්‍රමාණයකින් අඩු කිරීමට සමත් වුණා. ඉදිරියේදී බැතිමතුන්ට මෙම මුදල ගෙවා ගැනීම සඳහා සහනදායී ණය පහසුකම් ලබා දීමට ද අප කටයුතු කරමින් සිටිනවා."
එසේම සෞදි රජය, දේශීය සංචාරක නියෝජිතයන් සහ සේවා සපයන්නන් සමඟ සමීපව කටයුතු කරමින් බැතිමතුන්ට උපරිම පහසුකම් සැලසීමට අමාත්‍යාංශය කැපවී සිටින බව ද හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කර ඇත.