දේශීය කර්මාන්ත රැකගන්න ආනයන අපනයන පාලනයට අලුත්ම ගැසට් නිවේදනයක්
දේශීය කර්මාන්තකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් අබලි ලෝහ නිෂ්පාදන, විවිධ ලෝහ අනුරූ සහ ලෝහ අබලි නීතිවිරෝධී ලෙස අපනයනය කිරීම වැළැක්වීම සඳහා නව අපනයන පාලන ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව, අදාළ භාණ්ඩ අපනයනය කිරීමේදී අපනයන පාලන බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට 2026 මාර්තු 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත. එම තීරණයට අනුව 2026 අංක 05 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, 2026 ජුනි 15 දින නිකුත් කළ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර, පෙර ගෙවීම් ක්‍රමය යටතේ ආනයනය කරන භාණ්ඩ නියමිත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බව තහවුරු කිරීම සඳහා 2011 අංක 1 දරන විශේෂ ආනයන බලපත්‍ර සහ ගෙවීම් ක්‍රම රෙගුලාසි සංශෝධනය කිරීමටද පියවර ගෙන ඇත.
ඒ අනුව, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2026 අංක 06 දරන නව රෙගුලාසි, 2026 ජුනි 18 දින නිකුත් කළ අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.
මෙම ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.