ආසියාවේම අංක 01 හොඳම රෝහල බවට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල පත් කරනවා - ඇමති නලින්ද

Report

වසර ගණනාවක දිගු කාලයක සිට නිල වශයෙන් පුරප්පාඩුව පැවැති කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථිර අධ්‍යක්ෂ ධූරය සඳහා අලුතින්ම පත් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එම් කේ සම්පත් ඉන්දික කුමාර මහතා එම රෝහල් පරිශ්‍රයේදී සිය ධූරයේ රාජකාරි නිල වශයෙන් භාර ගැනීම අද දින සිදුවිය.

නව අධ්‍යක්ෂවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රෝහල් පරිශ්‍රයේ පැවැති විශේෂ උත්සව සභාව අමතමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සුවිශේෂී හෘද රෝහලක් කොළඹ ජාතික රෝහලට සෘජුවම යාබදව ස්ථාපිත කිරීමට වත්මන් රජය කටයුතු සූදානම් කර ඇති බවයි.

එය මහල් 16 කින් සමන්විත වන දැවැන්ත මෙන්ම අතිනවීන ශල්‍යාගාරවලින් පිරි අංග සම්පූර්ණ විශේෂිත රෝහලක් වන බව ද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.

මෙම නව විශේෂිත හෘද රෝහල ඉදිකිරීමෙන් රජය ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මෙරට ජනතාව මුහුණ දෙන විවිධ හෘද රෝග සඳහා වන සියලුම සංකීර්ණ ශල්‍යකර්ම කිසිදු පොරොත්තු ලේඛනයකින් තොරව ඉතාමත් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමය.

මෙම දැවැන්ත ජාතික ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම වෙනුවෙන් 2026 වර්ෂය සඳහා වන රජයේ අයවැය මඟින් අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් සම්පූර්ණයෙන්ම වෙන්කර අවසන් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

වත්මන් රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානතම අරමුණ සහ ඉලක්කය සමස්ත ආසියාවේම අංක 01 හොඳම රෝහල බවට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල පත් කිරීම බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.