නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරින් මියගිය ගණන 392 දක්වා ඉහළට
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදන්ව සිටින පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් බ්‍රහස්පතින්දා දිනයේදී දැඩි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මේ අතර, ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව 392 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල සම්පූර්ණ ගම්මාන පවා විනාශ වී තිබේ. සුනාමි රළකට සමාන වේගයකින් ගලා ආ මඩ සහ ජල ප්‍රවාහ හේතුවෙන් නගර සහ ගම්මාන රැසක් යටවී ඇති අතර, නිවාස විනාශ වී, පාලම් සහ වේලි කඩා වැටී තිබේ.
මෝටර් රථ ඇතුළු වාහන ද එම ප්‍රබල ජල ප්රවාහයට හසුව ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර, ඉදිරි දිනවලදී තවත් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. අතුරුදන් වූවන් අතර හිමාලයානු කලාපයට පැමිණ සිටි විදේශීය සංචාරකයින් මෙන්ම ටිබෙටයේ පිහිටි පූජනීය කයිලාෂ් කන්ද වන්දනා කිරීමට පැමිණි විශාල පිරිසක් ද සිටින බව සඳහන් වේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන්නේ මෙම ව්‍යසනය ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අයිස්, ගල් සහ මඩ විශාල ප්‍රමාණයක් වේගයෙන් පහළට ගලා ආ බවත්ය.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා ග්ලැසියර වේගයෙන් දියවීමත් සමඟ ග්ලැසියර විල් පිටාර ගැලීම් සහ ග්ලැසියර කඩා වැටීම් වැනි අවදානම් ද ඉහළ යමින් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති.
ව්‍යසනයට ලක් වූ ප්‍රදේශවලින් දිවි ගලවාගත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා හදිසි සහන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරතව සිටිති. නේපාල හමුදා සාමාජිකයින් පස් යට වැළලී ඇති මළ සිරුරු සොයා ගැනීම සඳහා විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් ද යොදාගෙන තිබේ.
"එය යෝධ සොහොන් බිමක් වගේ. ඉතිරිව ඇත්තේ මිනිස් රුධිරයෙන් රතු පැහැයට හැරුණු වැලි සහ ගල් කැට පමණයි," යනුවෙන් දේශසීමා නගරයක් වන ටිමුරේ ප්‍රදේශයේ කඳු මුදුනකින් දිවි ගලවාගත් 35 හැවිරිදි නේපාල රේගු නිලධාරියෙකු වන ඕම්කාර් ජෝෂි AFP වෙත පවසා තිබේ. නේපාල පොලිසියට අනුව මේ වන විට මළ සිරුරු 389ක් සොයාගෙන තිබේ.
එමෙන්ම විදේශීය සංචාරකයින් 517 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 910 දෙනෙකු සමඟ තවමත් සම්බන්ධතා ඇති කර ගැනීමට නොහැකි වී තිබේ.
චීනය පවසන්නේ එම සංඛ්‍යාවට ඇතුළත් නොවන චීන පුරවැසියන් 100 දෙනෙකු ද නේපාලයේදී අතුරුදන් වී ඇති බවයි.
අතුරුදන් වූ විදේශිකයින් අතර වැඩිම පිරිස ඉන්දියානුවන් වන අතර, එක්සත් ජනපදය ද තම පුරවැසියන් 90 දෙනෙකු සමඟ සම්බන්ධතා නොමැති බව සඳහන් කර තිබේ.
සහන මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා චීන අගමැති ලී ක්වියැං බ්‍රහස්පතින්දා එම ප්‍රදේශයට ගොස් ඇති බව ද රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත්, චීනයේ ටිබෙට් ස්වයං පාලන කලාපයට විදේශීය මාධ්‍යවේදීන්ට ප්‍රවේශ වීම දැඩි ලෙස සීමා කර ඇති බැවින්, එහි සිදුවී ඇති හානියේ සම්පූර්ණ තොරතුරු තවමත් පැහැදිලිව අනාවරණය වී නොමැත.