නේපාල ගංවතුරේ හඳුනා නොගත් මළ සිරුරු පසුව DNA මගින් සොයාගත හැකි ලෙස භූමදානය කරයි
නේපාලයට බලපෑ දැවැන්ත හදිසි ගංවතුර සහ මඩ ප්‍රවාහයෙන් මියගිය, මෙතෙක් හඳුනාගෙන නොමැති සහ ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරු භූමදානය කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.
බදාදා උදෑසන ගම්මාන සහ නගර කිහිපයක් හරහා දැවැන්ත ජල හා මඩ ප්‍රවාහයක් ගලා යාමෙන් පසු මේ වනවිට අවම වශයෙන් මළ සිරුරු 675ක් සොයාගෙන තිබේ. ඉන් වැඩිම මළ සිරුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවට මායිම්ව පිහිටි නේපාලයේ චිත්වාන් දිස්ත්‍රික්කයෙනි.
එහිදී මළ සිරුරු 233ක් සොයාගෙන ඇත. මළ සිරුරු තැබීම සඳහා රෝහල්වල ප්‍රමාණවත් ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒවා වේගයෙන් දිරාපත් වෙමින් පවතින බව බලධාරීහු පවසති.
එම තත්ත්වය හේතුවෙන් දුර්ගන්ධය සහ ආසාදන පැතිරීමේ අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ. එම නිසා මළ සිරුරු භූමදානය කිරීමට පෙර ඒවායේ DNA සාම්පල ලබාගෙන, එක් එක් සිරුරට අනන්‍ය හඳුනාගැනීමේ අංකයක් ලබාදීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.
පසුව DNA මගින් හඳුනා ගැනීම
භූමදානය කරන සෑම මළ සිරුරක් සඳහාම එහි හඳුනාගැනීමේ අංකය, සිරුර සොයාගත් ස්ථානය සහ භූමදාන කළ ස්ථානය ඇතුළු තොරතුරු වාර්තා කර තබනු ඇත.
මළ සිරුරු තැබීම සඳහා භාවිත කළ ස්ථානයක ඉඩකඩ අවසන් වූ පසු ඒවා භූමදානය කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බව නිලධාරියෙකු සඳහන් කර තිබේ.
සෙනසුරාදා දහවල් වනවිට මළ සිරුරු 100කට වැඩි සංඛ්‍යාවක DNA පරීක්ෂණ කටයුතු අවසන් කර තිබූ අතර, ඒවා භූමදානය සඳහා සූදානම් කර තිබිණි.
මීටර් 1.5ක් ගැඹුරු සොහොන්
මළ සිරුරු පසුව අවශ්‍ය නම් පහසුවෙන් ගොඩගැනීමට හැකිවන පරිදි භූමදාන වළවල් මීටර් 1.5ක් පමණ ගැඹුරින් සකස් කර තිබේ. එක් මළ සිරුරක් සහ තවත් මළ සිරුරක් අතර සෙන්ටිමීටර් 40ක පමණ පරතරයක් තබා ඇති බවද සඳහන් වේ.
එමගින් DNA පරීක්ෂණයකින් හඳුනාගත් නිශ්චිත මළ සිරුර පමණක් පසුව ගොඩගැනීමට හැකි වනු ඇත. මළ සිරුරු හඳුනාගැනීමේ අංක සහිත බෑග්වල තැන්පත් කරනු ලබන අතර, භූමදාන ස්ථානවල එම අංක සඳහන් පුවරු සහ කොන්ක්‍රීට් වේදිකා ද ඉදිකෙරේ.
එමෙන්ම භූමදාන ක්‍රියාවලිය ඡායාරූප සහ වීඩියෝ මගින් වාර්තා කිරීමටත්, එක් එක් භූමදාන ස්ථානයේ භූගෝලීය පිහිටීම (Geo-tag) සටහන් කිරීමටත් සැලසුම් කර තිබේ.
අතුරුදන් වූ ඥාතීන්ට DNA සාම්පල ලබාදීමට අවස්ථාව
අතුරුදන් වූ ඥාතීන් සොයන පුද්ගලයන්ට නේපාලයේ විවිධ රෝහල් වෙත ගොස් තම DNA සාම්පල ලබාදීමට අවස්ථාව හිමි වේ.
එම DNA ප්‍රතිඵල මළ සිරුරුවලින් ලබාගත් DNA සමඟ සැසඳීමෙන් අනන්‍යතාව තහවුරු කිරීමට නේපාල සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇත. යම් මළ සිරුරක් හඳුනාගත් පසු එයට අදාළ හඳුනාගැනීමේ අංකය අනුව පොලිසිය එය භූමදානය කළ නිශ්චිත ස්ථානය සොයාගනු ඇත.
අනතුරුව එම මළ සිරුර ගොඩගෙන ඥාතීන් වෙත භාරදීමට කටයුතු කිරීමට නියමිතය. හඳුනාගත නොහැකි සහ ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරුවල තොරතුරු නේපාල පොලිසිය විසින් වෙබ් අඩවියකට ද ඇතුළත් කර තිබේ. බලධාරීන්ට අනුව, විදේශිකයන් සිය ගණනක් ඇතුළුව පුද්ගලයන් 2,426 දෙනෙකු තවමත් නේපාලයේ අතුරුදන්ව සිටින බව වාර්තා වේ.