නේපාල-චීන දේශසීමාවේ දැවැන්ත ගංවතුරෙන් සිදුවෙලා තියන මහා විනාශය
නේපාලයේ සහ චීනයේ ගලවා ගැනීමේ කණ්ඩායම් දහස් ගණනක් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා දැඩි මෙහෙයුමක නිරතව සිටියහ. හිමාලයානු කලාපය හරහා සුනාමියක් මෙන් ගලා ගිය දැවැන්ත ජල ප්‍රවාහයක් හේතුවෙන් ගම්මාන රැසක් විනාශයට පත්ව ඇති අතර, ප්‍රදේශයේ විශාල පිරිසක් පීඩාවට පත්ව තිබේ.
නේපාල පොලිසියට අනුව, සිකුරාදා වන විට අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,400 ඉක්මවා ගොස් තිබූ අතර, මරණ සංඛ්‍යාව 626 දක්වා ඉහළ ගොස් තිබුණි. මීට පෙර හදිසි සහන කණ්ඩායම් විසින් මළ සිරුරු 586ක් සොයාගෙන තිබූ අතර, ඇතැම් මළ සිරුරු ඉන්දියාව දක්වා ගසාගෙන ගොස් ඇති බවද වාර්තා විය.
දැවැන්ත ජල විදුලි ව්‍යාපෘති රැසක් පිහිටි මෙම කලාපයේ නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය විසින් ජල විදුලි ව්‍යාපෘතිවල සේවය කළ කම්කරුවන් 933 දෙනෙකු ද අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
ටිබෙටයේ පූජනීය කයිලාෂ් කන්ද වෙත ගමන් කරමින් සිටි සංචාරකයින් සහ වන්දනාකරුවන් පිරිසක්ද අතුරුදහන් වූවන් අතර සිටින බව සඳහන් වේ. ගංවතුරෙන් දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු පවසන්නේ තමන් සතු සියල්ල අහිමි වී ඇති බවයි.
අතුරුදහන් වූ තම ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳ තොරතුරක් බලා සිටින ඔවුන්ට, ජීවිතය නැවත ආරම්භ කිරීමේ අභියෝගයටද මුහුණ දීමට සිදුව තිබේ. “ගඟ අසල තිබූ සියලුම ජනාවාස ගසාගෙන ගොස් තිබෙනවා.කිසිවක් ඉතිරි වී නැහැ,” දිවි ගලවා ගත් බුද්ධි රාම් ඩන්ගෝල් AFP වෙත පවසා තිබේ.
තම අතුරුදහන් වූ සහෝදරයා පිළිබඳ තොරතුරක් බලා දින තුනක් ගත කළ බව සම්ජානා තින්ග් පැවසුවාය. “අපි කිසිවක් දන්නේ නැහැ. ඔහු ආරක්ෂිත ස්ථානයක සිටිනු ඇතැයි බලාපොරොත්තු වෙනවා,” ඇය සඳහන් කළාය. “දැවැන්ත” කම්පනයක් බදාදා සිදු වූ මෙම ව්‍යසනයෙන් ඇති වූ බලපෑම “දැවැන්ත” බව රතු කුරුස සංවිධානය පවසයි.
පුද්ගලයින් 93,000කට ආසන්න පිරිසක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා තිබේ. විශාල ප්‍රදේශයක සිදුව ඇති විනාශය හේතුවෙන් ආහාර හා පානීය ජල සැපයුම් හිඟ වෙමින් පවතින අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිටින දිවි ගලවා ගත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යාම සඳහා සහන කණ්ඩායම් කඩිනමින් කටයුතු කරමින් සිටිති.
එමෙන්ම, තවදුරටත් ගංවතුර ඇතිවීමේ අවදානම හේතුවෙන් අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම්ද දැඩි අභියෝගයකට ලක්ව තිබේ. අයිස් සහ මඩ සමඟ ගලා ආ ජලය හේතුවෙන් විශාල ජල කඳන් නිර්මාණය වී ඇති අතර, ඒවා ගලවා ගැනීමේ කණ්ඩායම්වලටද සෘජු තර්ජනයක් වී තිබේ.
“වහාම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස” නේපාල පොලිසිය සියලුම ගලවා ගැනීමේ සේවකයින්ගෙන් ඉල්ලා ඇති අතර, ටිබෙට් දෙසින් තවත් ජල කඳක් කඩා වැටී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද සඳහන් කර තිබේ. ටිබෙටයේ ගලවා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවයි විදේශීය මාධ්‍යවේදීන්ට දැඩි සීමා පවතින ටිබෙටයේ, නැවත ගංවතුර ඇතිවීමේ අවදානම හේතුවෙන් චීන බලධාරීන් විසින් දැඩි ලෙස හානි වූ ගයිරොන්ග් ප්‍රදේශයේ ගලවා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබේ.
කෙසේ වෙතත්, තර්ජනය යම්තාක් දුරට අඩු වී ඇති බව බලධාරීන් පසුව සඳහන් කර ඇත. චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා සෙනසුරාදා අලුයම වාර්තා කළේ එම ප්‍රදේශයේ ගම්වැසියන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවයි. ටිබෙට් ප්‍රදේශයෙන් අතරමංව සිටි සංචාරකයින් 555 දෙනෙකු සහ චීන පදිංචිකරුවන් 499 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවද චීන බලධාරීන් පවසයි.
උමං මාර්ගවල සිරවූවන් සොයා මෙහෙයුම් නේපාලයේ දේශසීමා ප්‍රදේශයේ, හමුදාව ත්‍රිෂූලි-3A ජල විදුලි ව්‍යාපෘතියේ උමං මාර්ගයක් තුළ සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
හමුදා ප්‍රකාශක රාජා රාම් බාස්නෙට් විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ හෙලිකොප්ටර් දෙකක් යවා ඇති නමුත් උමඟට ඇතුළු විය හැකි ස්ථාන හඳුනා ගැනීම පවා අතිශය දුෂ්කර වී ඇති බවයි.
කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් 350කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇති අතර, තවත් 100කට වැඩි පිරිසක් ප්‍රදේශයේ සිරවී සිටින බව ඔහු සඳහන් කළේය. ත්‍රිෂූලි නිම්නයේ අනෙකුත් ජල විදුලි ව්‍යාපෘතිවලින් බේරාගත් කම්කරුවන් පවසා ඇත්තේ ව්‍යසනය ඉතා වේගයෙන් සිදුවූ බවයි.
බුද්ධා තමාන්ග් නම් කම්කරුවෙකු විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ ගංවතුර ඇති වන අවස්ථාවේදී තමන් සේවය කළ ජල විදුලි ව්‍යාපෘතියේ උමඟක් තුළ සිටි බැවින් පමණක් දිවි ගලවා ගැනීමට හැකි වූ බවයි.
“අනෙක් පැත්තේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලුදෙනාම ගසාගෙන ගියා,” ඔහු පැවසීය. පැය 24කට වැඩි කාලයක් සිරවී සිටි තමාන්ග් පසුව බ්‍රහස්පතින්දා ගුවන් මගින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබේ.
විදේශිකයන් රැසක්ද අතුරුදහන් නේපාල ආපදා කළමනාකරණ අධිකාරියට අනුව, නේපාලයේ සම්බන්ධ කරගත නොහැකි පුද්ගලයින් 1,924 දෙනෙකු සිටින අතර, ඔවුන් අතර විදේශිකයින් 517 දෙනෙකුද සිටී. මීට පෙර වාර්තා වූ අතුරුදහන් සංඛ්‍යාව 977ක් විය.
මේ අතර, නේපාලයෙන් ගලා එන ගංගාවලින් මළ සිරුරු හතක් සොයාගෙන ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.
එම සිරුරු ගංවතුරට ගොදුරු වූ පුද්ගලයින්ගේ බවට සැක කෙරේ. චීන පාලනය යටතේ පවතින ටිබෙටයෙන් ලැබෙන නිල තොරතුරුවලට අනුව, පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් ඇති අතර තවත් 554 දෙනෙකු අතුරුදහන් වී තිබේ.
කයිලාෂ් වන්දනාකරුවන් අතරත් අතුරුදහන් වූවන් දේශසීමා ප්‍රදේශයේ අතුරුදහන් වූවන් අතර ලොව විවිධ රටවලින් පැමිණි හින්දු වන්දනාකරුවන් විශාල පිරිසක්ද සිටින බව වාර්තා වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ටිබෙටයේ පූජනීය කයිලාෂ් කන්ද වෙත වන්දනා ගමනක නිරතව සිට ඇත.
සිවරංජනී මුතුනාදන් නම් 46 හැවිරිදි කාන්තාව තවත් 56 දෙනෙකු සමඟ චීන දේශසීමාව දෙසට බස් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම ආපදාවට මුහුණ දී තිබේ. ඔවුන් මුලින් සිතා ඇත්තේ තමන් රථවාහන තදබදයක සිරවී සිටින බවයි.
මුළු මහත් ලෝකයම කැළඹූ ඛේදවාචකය ගැන තවත් කැළඹීමක් - නේපාල හදිසි ගංවතුරෙන් ගසාගෙන ගිය සිරුරු ඉන්දියාවේ ගංගාවල
එහෙත් පසුව තත්ත්වය වේගයෙන් වෙනස් වී තිබේ. “එවිට මීදුම සහ දුම ඇති වුණා. හදිසියේම ජලය අපව ගිලගන්නවා වගේ දැනුණා,” ඇය AFP වෙත පවසා තිබේ. ඇය තමන් වෙත ගලා එන ජල ප්‍රවාහයක් දැක්වෙන ජංගම දුරකථන වීඩියෝවක්ද පෙන්වා තිබේ.
ඔවුන් වටා තිබූ වාහන ගසාගෙන ගොස් හෝ මඩ යට වැළලී ගිය බව ඇය පැවසුවාය. අවසානයේදී ඔවුන් බස් රථයේ රියදුරුගේ පැත්තෙන් පිටතට නැග කන්දක් වෙත ගොස් දිවි ගලවාගෙන තිබේ.