අවුරුදු තුනකටත් වැඩි කාලයක් පටන් රජයේ අවි ගබඩාවකින් අස්ථානගතව තිබූ T56 සොයා ගත් මහා මෙහෙයුම...
By Piyumika
2021 වසරේ දී රජයේ අවි ගබඩාවකින් අස්ථානගතව තිබූ T56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙකු කුලියාපිටිය, ඉළුක්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් අද (16) අලුයම සිදුකළ වැටලීමක දී සැකකාර නාවික හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මොහු 2021 වර්ෂයේ කොළඹ වරාය, රංගල කඳවුරට අනුයුක්තව අවි ගබඩාව භාරව සිට ඇති අතර එම කාලයේ දී අදාළ T56 ගිනිඅවිය අස්ථානගතව තිබුණි.
ඒ අනුව ඉළුක්හේන, ගල්පොල ජනපදය ප්‍රදේශයේ පදිංචි අදාළ නාවික හමුදා සෙබළාගේ නිවසේ තිබී එම ගිනි අවිය මෙලෙස සොයාගැනීමට හැකිව ඇති බව පොලීසිය පැවසීය.
සැකකාර සෙබළා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් සිදුකරන විමර්ශනවලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.