සාම්ප්‍රදායික රැකියා ක්‍රමය වෙනස් කරන්න කාලය හරි - තරුණ පරපුරේ රැකියා වෙළෙඳපොළ ගැන නාමල්ගෙන් අලුත්ම අදහසක්
ශ්‍රී ලංකාව ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසදායක සම්බන්ධතා කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට "ඉන්දියානු සාගර සියවස" වැළඳ ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිංගප්පූරුවේ පැවති ගෝලීය ආර්ථික සහයෝගීතා (GEC) නැගෙනහිර සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී මිල්කන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු එක්සත් ජනපද තානාපති කර්ටිස් එස්. චින් සමඟ පැවති මණ්ඩල සාකච්ඡාවකට ද ඔහු එක්විය.
අනාගත ආර්ථික සහයෝගීතා කවුන්සිලයේ (FECC) චන්ද්‍රිකා රැස්වීමක් ලෙස මෙම සැසිය සංවිධානය කර තිබිණි. සියවස් ගණනාවක් පුරා ශිෂ්ටාචාර සහ වෙළෙඳ සම්බන්ධතා ගොඩනැගීමට ඉන්දියානු සාගරය ඉටු කළ කාර්යභාරය, අනාගතයේ ගෝලීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ප්‍රයෝජනයට ගත යුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
"අපි ඉන්දියානු සාගරයේ දශකයකට නොව, ඉන්දියානු සාගරයේ සියවසකට පිවිසෙමින් සිටිනවා," යැයි ඔහු සඳහන් කරමින්, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම ගෝලීය සහයෝගීතාවයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ හැකියාව පෙන්වා දුන්නේය.
අනාගත රැකියා වෙළෙඳපොළ සඳහා තරුණ පරපුර සූදානම් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළ අතර, නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය තුළින් තරුණයන් බලගැන්විය යුතු බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය රඳා පවතින්නේ සාම්ප්‍රදායික රැකියා ක්ෂේත්‍රවලට පමණක් සීමා නොවී, නැගී එන කර්මාන්ත සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් තරුණයන් සන්නද්ධ කිරීම මත බවද ඔහු පෙන්වා දුන්නේය.
ගෝලීය ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නව මාර්ග සොයා බැලීමේ අරමුණින් පැවති GEC නැගෙනහිර සමුළුව සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්, ආර්ථික විද්‍යාඥයන් සහ චින්තන නායකයන් රැසක් සහභාගී වී තිබිණි.