ශ්‍රීලංකන් ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් චෝදනා- නාමල් රාජපක්ෂ අනිද්දා අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනිද්දා (04) උදෑසන 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මහතා පවසයි.
නීතිඥවරයා සඳහන් කළේ, අනිද්දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අල්ලස් කොමිසම විසින් ලිඛිතව දැනුම් දී ඇති බවත්, ඒ සඳහා සිය සේවාදායකයා එකඟතාව පළ කර ඇති බවත්ය.
නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සඳුදා පළමුව දැනුම් දී තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු හෙට දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිය හැකි බව දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත්, පසුව නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මහතා මාර්ගයෙන් ලිපියක් යොමු කරමින්, ලබන 25 වැනිදා හෝ ඉන් පසුව කොමිසම හමුවේ පෙනී සිටීමට හැකි බව නාමල් රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, අනිද්දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අල්ලස් කොමිසම විසින් වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දී ඇතැයි නීතිඥවරයා සඳහන් කළේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපනය කිරීමේදී සිදුව ඇතැයි කියන අල්ලස් ගැනීමේ සිද්ධියකට අදාළ විමර්ශන සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා කොමිසම හමුවට කැඳවා ඇති බවද නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මහතා වැඩිදුරටත් පැවසීය.