බඩඉරිඟුවලට විශේෂ App එකක්
මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය හා සැපයුම නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා නව මාර්ගගත තොරතුරු පද්ධතියක් හා වෙබ් යෙදුමක් (Maize Stock) එළිදැක්වීම කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම "Maize Stock" ඩිජිටල් පද්ධතිය හරහා රට තුළ පවතින බඩඉරිඟු තොග පිළිබඳ නිවැරදි, යාවත්කාලීන දත්ත තබාගැනීම හා ආනයන තීරණ විද්‍යාත්මකව ගැනීම පහසු කිරීම ප්‍රධාන අරමුණයි. එමගින් අනවශ්‍ය ආනයන අඩු කරමින් දේශීය නිෂ්පාදනය ආරක්ෂා කිරීමටත්, විදේශ විනිමය ඉතිරි කිරීමටත් හැකි වේ.
පද්ධතියෙන් ලැබෙන ප්රතිලාභ ලෙස;
ගොවීන්ට: තම අස්වැන්න සඳහා වෙළඳපොළ ඉල්ලුම කල්තියා හඳුනාගෙන, අතරමැදියන්ගේ බලපෑමෙන් තොරව සාධාරණ මිලක් ලබාගැනීමට අවස්ථාව.
තොග රැස්කරන්නන්ට: රටේ සමස්ත බඩඉරිඟු ප්‍රමාණය හා හිඟය පිළිබඳ අවබෝධය ලැබීමෙන් අවදානමකින් තොරව රැස්කිරීම් හා බෙදාහැරීම් සැලසුම් කිරීම.
සත්ව ආහාර නිෂ්පාදකයින් හා කර්මාන්තකරුවන්ට: අවශ්‍ය අමුද්‍රව්‍ය තොග පවතින ස්ථාන හා ප්‍රමාණයන් පහසුවෙන් හඳුනාගෙන, නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම.'
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ;
“මෙම පද්ධතිය හරහා බඩඉරිඟු ක්ෂේත්රයේ විනිවිදභාවය ඉහළ යන අතර, දත්ත මත පදනම් වූ තීරණ ගැනීමෙන් ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද එකසේ ආරක්ෂා වන පරිසරයක් නිර්මාණය වෙනවා. බඩඉරිඟු ගොවීන්, ග්‍රාමීය තොග රැස්කරන්නන්, ආහාර නිෂ්පාදකයින් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් මෙම මාර්ගගත පද්ධතියට ලියාපදිංචි වීම ඉතා වැදගත්.”