ගුටි කෙලින් අවසන් වූ ප්‍රසංගය
දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ ඊයේ(14) පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇතිවූ කළහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ සඳහා සහභාගී වන බවට ප්‍රකාශ වී තිබු ගායකයින් දෙපළක් සංගීත සංදර්ශනය සඳහා සහභාගී නොවීම හේතුවෙන් මෙම කළහකාරී තත්ත්වය හට ගෙන තිබේ.
ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් එම සංගීත සංදර්ශනය පැවැත්වෙන බවට සංවිධායකයින් විසින් ප්‍රචාරක කටයුතු සිදුකර තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 1,000 සහ 2,500 ලෙස ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ද පියවර ගෙන තිබිණි.
සංගීත සංදර්ශනය අවසන් කරන බවට අලුයම 1.30ට පමණ නිවේදකයා දැනුම් දීමත් සමඟ ප්‍රකෝපකාරී වූ පිරිස් ප්‍රසංගයේ පුටු ඇතුළු දේපළ මෙන්ම සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩවලට ද පහරදී අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වේ.
එම ස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් 45 දෙනෙකු යොදවා සිටියද ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වී ඇති බව වාර්තා විය. ප්‍රසංගයේ සංවිධායකයින් විසින් පෙරොන්දු වූ මුදල ලබා නොදීම හේතුවෙන් අදාළ ගායකයින් දෙපළ ප්‍රසංගය සඳහා සහභාගී වී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණ වූ බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කළේය.
