නිවසක් තුළදී පුද්ගලයින් 05ක් කපා කොටා මරා දැමූ ඝාතකයා අල්ලා ගනී..

Sri Lanka Police Jaffna Attempted Murder Sri Lanka
By Aruna Apr 23, 2023 06:56 AM GMT
Aruna

Aruna

Report

යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුව ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසා සිටියේ .

එම සැකකරු 51 හැවිරිදි පුද්ගලයෙක් වන බවත්, සැකකරු සන්තකයේ තිබී රන් මාල තුනක්, වළලු ජෝඩු දෙකක්, තනි වළලක්, මුදු 8ක්, කරාබු දෙකක් හා පෙන්ඩන්ඩ් එකක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

එම පුද්ගලයා අවුරුදු 20ක් පමණ ජර්මනියේ ජීවත්ව මෙරටට පැමිණි අයෙක් බවයි පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ මෙම සාහසික අපරාධය ඊයේ අලුයම සිදුව තිබුණි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ, පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙකි. ඉන් එක් පිරිමි පුද්ගලයෙක් සාලයේදී ඝාතනය කර තිබුණු අතර, අනෙක් පුද්ගලයා ඝාතනය කර තිබුණේ කාමරයක් තුළදීයි.

එමෙන්ම තවත් කාන්තාවක් කාමරයක ඇඳ මතදී කපා කොටා ඝාතනය කර තිබු අතර, සෙසු කාන්තාවන් දෙදෙනා පොලීසියට හමුව තිබුණේ, නිවසේ පිටත පරිශ්‍රයේදීයි.

එමෙන්ම කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ පසුවූ තවත් කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

එම කාන්තාව විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇති බවදැනට අනාවරණ වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඝාතනයට ලක්වූ සියලු දෙනා වැඩිහිටියන් වන අතර ඔවුන් ඥාතීන් බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now