ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන 02ක්..පාසල් සිසුවෙකුත් මිය යයි.

Police spokesman Sri Lanka Police Attempted Murder
By Aruna Jul 24, 2023 04:21 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටිනවා.

ඊයේ (23) රාත්‍රී කාලයේ බලංගොඩ පොලිස් වසමේ බුලත්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් සහ පොල්ලකින් පහරදීමක් සිදුකර ඇති අතර පහරකෑමට ලක්වු පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතන සැකකරු ඊයේ සවස මරණකරු සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් මැදිහත්ව එය සමතයකට පත්කර තිබුණි.

පසුව සැකකරු සහ ඔහුගේ පුතායා නැවතත් මරණකරු සිටි ස්ථානයට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇත.

එහිදි සැකකරුගේ ඡාතීන් දෙදෙනෙකු ද එම ගැටුමට පැමිණ ඇති අතර, එහිදි සැකකරු විසින් මරණකරුට තියුණු ආයුධයකින් හා පොලුවලින් පහරදී ඇති බවයි පොලීසිය පවසන්නේ. බරපතළ තුවාල සහිතව පහරකෑ පුද්ගලයා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදීමට පැමිණි 68 හැවිරිදි එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ පුත්‍රයා සහ තවත් සැකකරුවෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර, අද (24) අලුයම තංගල්ල පොලිස් වසමේ තුඩාවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පිරිමි පුද්ගලයෙකුට සහ කාන්තාවකට පහරදීමක් සිදුකර තිබෙන බව වාර්තා වේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබු යුවළ රෝහල් ගත කිරීමේ දී පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.

සැකකරු මරුණකරුගේ පුතා සමග ඊයේ රාත්‍රියේ ආරවුලක් ඇති කරගෙන ඇති අතර, සැකකරු නැවත මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ පියාට සහ මවට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යවා ඇත.

ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර, පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ දියනැමට ගිය සිව්දෙනෙකු අතරින් පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනෙකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ, මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශණ පීරිස් නැමැති 17 හැව්රිදි තරුණයකු බවයි.

අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසින් මෙහෙයුම් සිදුකරන බව ද පොලීසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර, කුරුඳුවත්ත රොස්මිඩ් ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් වැටී ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයා ඊයේ එම මහල් නිවාසයේ හත් වන මහලෙන් ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙසේ මි‍යගොස් ඇත්තේ කිරුළපන, සුනේත්‍රා පාරේ පදිංචි වයස අවුරුදු 47ක් වූ අයෙක්.

පොලිස් නිලධාරියෙක් කියා සිටියේ, කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇතැයි පැවසෙන මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානිකර ගත්තාදැයි සැක මතුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මෙම ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ReeCha