යුද උණුසුම මැද නරේන්ද්‍ර මෝදී වාර්තා අතරට - ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් තබයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දින 8,931ක්, රජයක නායකත්වය දරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇති බව වාර්තා වේ. ඒ මීට පෙර Sikkim ප්‍රාන්තයේ හිටපු මහ ඇමති පවන් කුමාර් චැම්ලින් තබා තිබූ දින 8,930ක වාර්තාව අභිබවා යමින්.
මෙම වාර්තාවට ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වශයෙන් සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඔහු දැරූ සමස්ත සේවා කාලය පදනම් වී තිබෙන බව සඳහන්. ඊට අමතරව ගුජරාට් ප්‍රාන්තයේ වැඩිම කාලයක් මහ ඇමති ධුරය දැරූ නායකයා වන්නේ ද මොහුයි.
මේ අතර 2014,2019 සහ 2024 යන වසරවල පැවති මහ මැතිවරණවලදී අඛණ්ඩව තෙවතාවක් සිය පක්ෂය ජයග්‍රහණය කරවීමට ඔහු සමත්ව ඇත. එමෙන්ම ඉන්දියාව නිදහස ලැබීමෙන් අනතුරුව උපත ලැබූ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද නරේන්ද්‍ර මෝදියි.
කෙසේ වෙතත් තම පාලන කාලය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ 2001 වසරේදී තමන් ගුජරාට් මහ ඇමති ධුරය භාරගන්නා විට එම ප්‍රාන්තය ප්‍රබල භූමිකම්පාවකින්, චණ්ඩ මාරුතවලින් සහ දේශපාලන අස්ථාවරත්වයකින් පීඩා විඳිමින් තිබූ බවයි.
එහෙත් එම අභියෝග හමුවේ නොසැලී කටයුතු කරමින් ගුජරාට් ප්‍රාන්තය "යහපාලනයේ කේන්ද්‍රස්ථානයක්" බවට පත්කිරීමට තමන්ට හැකි වූ බව ඔහු පවසයි.
ඉකුත් වසර 11ක කාලය තුළ ඉන්දියාවේ කෝටි 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බවත්, ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් වශයෙන් නැගී සිටින බවත් මෝදි අවධාරණය කර තිබෙනවා.
එසේම "සංවර්ධිත ඉන්දියාවක්" 'Viksit Bharat' ගොඩනැගීම තම අරමුණ බවත්, ඒ වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත වටිනාකම් මත පිහිටා තවදුරටත් සේවය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.