පාසල් ජාලයක සිසුන් 35000කගේ ජංගම දුරකථන තහනම් කරයි.
බ්‍රිතාන්‍යයේ විශාලතම පාසල් ජාලයක ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙන බව වාර්තා වනවා.
ඔර්මිස්ටන් ඇකඩමිස් ට්‍රස්ට් නැමති මෙම පාසල් ජාලයට ද්විතීයික පාසල් 32 ක් ඇතුළුව පාසල් 44ක් ඇතුළත් බවයි පැවසෙන්නේ.
ඒ අනුව විදෙස් වාර්තා සඳහන් කළේ, රට පුරා පිහිටි එම පාසල් 44 ක සිසුන් 35,000 කට පමණ ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තහනම් වන බවයි.
ඉගෙනීමට මෙම උපාංගය දැඩි බාධාවක් වන බැවින් සහ දරුවන්ගේ මානසික සෞඛ්‍යය යහපත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් එම තීරණය ගෙන ඇත.
ඒ අනුව මෙම පාසල් ජාලය බ්‍රිතාන්‍යයේ සම්පූර්ණයෙන්ම ජංගම දුරකථනවලින් නිදහස් වූ පළමු පාසල වන අතර, සිසුන් පාසලට පැමිණි විගස ඔවුන්ගේ ජංගම දුරකථන අදාළ නිලධාරියාට භාරදිය යුතු වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ සඳහා දෙමාපිය අදහස් ද සැලකිල්ලට ගෙන ඇති අතර, ඇතැම් දෙමවුපියන්ගෙන් මීට විරෝධයක් ද එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.