කිරින්ද පොලීසියේ සැරයන්වරයෙකු අතුරුදන් – පොලීසියෙන් විශේෂ විමර්ශනයක්
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අලහකෝන් ආරච්චිලාගේ මනෝජ් ලක්මාල් අලහකෝන් නමැති පොලිස් සැරයන්වරයෙකි.
පොලිස් වාර්තාවලට අනුව, තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කරමින් සිටි ඔහු තාවකාලික ස්ථාන මාරු නියෝගයක් මත අගෝස්තු 20 වනදා රාජකාරියෙන් පසු තංගල්ල පොලිස් ස්ථානය වෙත ගොස් ඇත.
අගෝස්තු 21 වනදා තංගල්ල මූලස්ථාන පොලිසියේ රාජකාරි නිමවා පසුව යළි කිරින්ද පොලිස් ස්ථානය වෙත වාර්තා කර තිබේ.
අනතුරුව අගෝස්තු 22 වනදා උදෑසන කිරින්ද පොලිස් ස්ථානයේ පිටවීමේ සටහන තබා නැවත තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි සඳහා පිටව ගොස් ඇති සැකකාර නිලධාරියා, අගෝස්තු 23 වනදා අලුයම සිය නිවසින් පිටව ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
නිවසින් පිටව යද්දී ඔහු භාවිත කළ ජංගම දුරකථනය සහ සිම්පත ද නිවසේ තබා ගොස් ඇති අතර, එතැන් සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ඔහුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලේ දක්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.