මැදපෙරදිග පවතින දරුණු යුදමය තත්ත්වයෙන් තේ කර්මාන්තයට එල්ල විය හැකි අභියෝගවලට මුහුණ දෙන්න සුදානම් ඇමැති සමන්ත කියයි
දැනට මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය නිසා තේ කර්මාන්තයට එල්ල වන අභියෝගවලට සැලසුම් සහගතව මුහුණ දෙන්න රජය සුදානම් බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කර තිබේ .
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ඊයේ (04) පැවති 2026-2030 උපාය මාර්ගික සැලැස්මට අනුව “පිවිතුරු තේ ගම්මාන Ò ආදර්ශ ගම්මාන 500 වැඩසටහන ගැන දැනුම්වත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනි.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්යක්ෂ වසන්ත විදානගේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙම වැඩසටහන මගින් වසර 2030 වනවිට පිවිතුරු තේ ගම්මාන 500ක් සකසා නිමි තේ කිලෝ මිලියන 400ක් නිෂ්පාදනයටත් ඒ සඳහා 2026 වසර තුළදී පිවිතුරු තේ ගම්මාන 144ක් ස්ථාපනය සඳහා ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීම සිදුව ඇත.
ඇමැතිවරයා මේ සම්බන්ධව තවදුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
'' තේ කර්මාන්තයට විවිධ කාලයන්හි විවිධ අභියෝග එනවා. ඒවා වැවිලි කර්මාන්තයටද බලපානවා. මේ අභියෝගවලට මුහුණ දෙමින් ක්ෂේත්රය ඉදිරියට ගෙනයාම තමයි අපේ වගකීම. ඉරාන – ඊශ්‍රායල යුද්ධය අපට තාවකාලික අභියෝගයක් වුවද අපි ඊට මුහුණ දිය යුතුයි. අපේ අපනයන,සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසකට මෙය බලපානවා. මීට සැලසුම් සහගතව මුහුණ දිය යුතුයි. අපි අද තේ කර්මාන්තයට ඉලක්ක සහගතව මැදිහත් වෙන්න සුදානම්.
අතීතයේ මෙවන් නිසි සැලසුම් පැවතියේ නැහැ. තේ ගම්මාන 500 ප්‍රායෝගික වැඩසටහන සැකසෙන්නේ ගොවියා අතින්. අපිට රජයක් ලෙස සැලැස්මක් සහ වැඩපිළිවෙළක් පවතින බැවින් දැන් ගමන යන්න පුළුවන්. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සැලස්මට අනුව මුළු රජයම මේ අයුරින් සැලසුම් සහගතව ගමන අරඹා තිබෙනවා. මේ වැඩසටහන සාර්ථක කරගන්න ආකල්පමය වෙනසක්ද අවශ්‍යයි. තේ වගාවෙන් සාර්ථක වන්න ගොවියා ව්‍යවසායකයෙක් බවට පත්කළ යුතුයි. කුඩා තේ වතු හිමියන් කුඩා ආයෝජකයන් ලෙස ආකල්පමය වෙනසකට ලක්කළ යුතුයි. මේ සඳහා තමයි තේ නිෂ්පාදන ගම්මාන 500 සකසා ව්‍යවසායකයන් නිර්මාණය කරන්නේ. සියලු ඉඩම් ඵලදායී තත්ත්වයට ගෙනඒම රජයේ අපේක්ෂාව. අතීතයේ පැවති නිවසේ සිට කාර්යාලය දක්වා අද වෙනස් වෙලා. වගාව තවම වෙනස් වී නැහැ.
නමුත් ලෝකයේ කෘෂිකර්මාන්තය කොතරම් වෙනස් වෙලාද?. අතීතයේ ලෝක තේ නිෂ්පාදනයේ අපි දෙවැනි තැන සිටියේ. මේ ගම්මාන 500 වැඩසටහන ඵලදායී වැඩසටහනක්. ගොවියා සහ රටේ ජනතාව විශ්වාසය තබන වැඩසටහනක් ලෙස මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියනවා. මේ සඳහා රජය සහ සියලු ආයතන එකට එක්ව ඉදිරියට යෑමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ජාතික මෙන්ම ග්‍රාමීය ඉලක්කද සකසා තිබෙනවා.
අපේ රටේ ජෙට්,රොකට් හදන්න බැරිවුණාට සියවස් ගණනාවක් පවතින තේ කර්මාන්තය දියුණු කරන්න අපට පුළුවන්. මේ සඳහා දායකවන ගොවියා ඇතුළු සියලු දෙනා ඇගයීමට අපි සුදානම්. ගම්මාන 500 අවශ්‍ය මූල්‍ය සහයද රජයෙන් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. සාම්ප්‍රදායික තේ ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් නව ලොවට ගැළපෙන තේ වෙළෙඳපොළක් සඳහා පියවර ගන්නවා. සිලෝන් ටී සංකල්පය මේ ගම්මාන වෙත රැගෙන යනවා. ''