බිලියනයක වන්දි ඉල්ලමින් ඇමැති නලින්දගෙන් ධර්මශ්‍රීට එන්තරවාසියක්
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන ධර්මශ්‍රී කාරියවසම් මහතාට එරෙහිව රුපියල් බිලියන 1ක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.
මෙම එන්තරවාසිය ඔහුගේ නීති කණ්ඩායම හරහා නිකුත් කර ඇති අතර, ධර්මශ්‍රී කාරියවසම්ගේ යූටියුබ් වැඩසටහනකින් අසත්‍ය ප්‍රචාර පතුරුවා තම කීර්තිනාමයට හානි කළ බවට චෝදනා කරයි.
අමාත්‍යවරයාගේ එන්තරවාසියට අනුව, ඉන්දියාවේ මාන් ෆාමසියුටිකල් ලිමිටඩ් සමාගම විසින් නිෂ්පාදිත ඔන්ඩන්සෙට්‍රොන් ඉන්ජෙක්ෂන් ඇතුළු ඖෂධ දහයක් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ සිදුවෙමින් පවතී. මෙම ඖෂධය සංකූලතා වාර්තාවීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් අත්හිටුවා ඇති බව දක්වා තිබේ.
එහෙත්, ධර්මශ්‍රී කාරියවසම් මහතා තම යූටියුබ් නාලිකාව හරහා “ජීවිත බිලිගත් ඉන්දියානු ඖෂධයේ සැඟවුණු කතාව, නගරාධිපති බල්තසාර්ගේ ඥාතියා සහ අමාත්‍ය නලින්දගේ ආවරණය” යන මාතෘකාව යටතේ වැඩසටහනක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම වැඩසටහන මගින් ඖෂධ ආනයනය, සැපයුම්කරු සමඟ කුමන්ත්‍රණය සහ ගැටලු සැඟවීම සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සෘජුවම වගකිව යුතු බවට චෝදනා කර තිබේ. එසේම, PTC මෙඩිකල් අධ්යක්ෂවරුන් සහ කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහතාගේ පවුල අතර සම්බන්ධතා ඇති බවට ද චෝදනා එල්ල කර ඇති අතර, එමඟින් දේශපාලනික අනුග්‍රහයක් පවතින බව පෙන්වා තිබේ.
අමාත්‍යවරයාගේ නීතිඥවරයා අවධාරණය කරන්නේ මෙම ප්‍රකාශ අසත්‍ය, අපහාසාත්මක සහ තමන්ගේ කීර්තිනාමයට හානිකර බවයි. මෙමගින් මහජන කැළඹීමක් ඇති කළ බවත්, එවැනි අන්තර්ගතයන් වහාම නතර නොකළහොත් වැඩිදුර දැනුම්දීමකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එන්තරවාසියෙන් අනතුරු අඟවා තිබේ.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ඖෂධ ආනයනය සම්බන්ධ ආන්දෝලනයන්ට තවත් මානයක් එක්කරන අතර, ඖෂධ නියාමනය සහ මාධ්‍ය භාවිතය පිළිබඳ සංවාදයන් උත්සන්න කිරීමට හේතු විය හැකිය.