දෙමටගොඩ Metro Uplift ව්‍යාපෘතියට ඇමති බිමල්ගේ විශේෂ අවධානය – නිවාස සංකීර්ණ දෙකේ සැබෑ තත්ත්වය හෙළිවෙයි

By Malith Madushan Jun 22, 2026 06:51 AM GMT
Report

කොළඹ 09, දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි මිහිඳු සෙන්පුර සහ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණවල ක්‍රියාත්මක Metro Uplift ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (20) ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහිදී, නිවාස සංකීර්ණවල ප්‍රතිසංස්කරණ අවශ්‍යතා හඳුනාගෙන ඒවා කඩිනමින් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. ගිනි නිවන පද්ධති, ගිලා බැස ඇති පදික වේදිකා, මෑන්හෝල්, ජලාපවාහන හා කාණු පද්ධති, පොදු ප්‍රදේශවල විදුලි ආලෝකකරණය, කසල කළමනාකරණය, මායිම් තාප්ප, ආරක්ෂිත කැමරා පද්ධති සහ පොලිස් මුරපොළ ඇතුළු ජනතාවගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය පහසුකම් නවීකරණය කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.

Metro Uplift ව්‍යාපෘතිය යටතේ මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයේ නවීකරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 249ක මුදලක් වෙන් කර ඇති අතර, සියපත් සෙවණ නිවාස සංකීර්ණය නවීකරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 66.8ක මුදලක් වෙන් කර ඇති බව සඳහන් වේ.

මීට අමතරව, නිවාස සංකීර්ණ දෙකෙහිම මලාපවාහන පද්ධති අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 203ක මුදලක් වැය කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන Metro Uplift වැඩසටහනේ අරමුණ වන්නේ කොළඹ නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාව පදිංචිව සිටින මහල් නිවාස සංකීර්ණවල ජීවන තත්ත්වය උසස් කිරීමය.

අමාත්‍යවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වේගය සහ පවතින යටිතල පහසුකම් ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු වූ බව වාර්තා වේ.