ඇත්තටම පැය ගානක් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශක්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවතින බලශක්ති අර්බුදය හමුවේ රජය මෙතෙක් කිසිදු සැලසුම් සහගත විදුලි කප්පාදුවක් සිදු කර නොමැති බවත්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන විදුලි විසන්ධි වීම් හුදෙක් තාක්ෂණික දෝෂ මත සිදුවන බිඳවැටීම් පමණක් බවත් පවසයි.
දිවයින පුරා ඇතැම් ප්‍රදේශවල දිනකට පැයක් හෝ පැය කිහිපයක් විදුලිය විසන්ධි වීම් වාර්තා වන බවටත්, එවැනි කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව ජනතාව නිසි ලෙස දැනුවත් නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
මීට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අවධාරණය කළේ, රජය විසින් කිසිදු විධිමත් විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.
ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු නොකරන ලෙස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, විදුලි පද්ධතියේ ඇති වන තාක්ෂණික දෝෂ හේතුවෙන් සිදුවන විසන්ධි වීම් "විදුලි කප්පාදුවක්" ලෙස හැඳින්විය නොහැකි බව පැවසීය.
විදුලිය බිඳවැටීම් නිරන්තරයෙන් සිදුවන සාමාන්‍ය තත්ත්වයක් බවත්, එය මෙරට ජනතාවට අලුත් දෙයක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.