මැදපෙරදිග උණුසුම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට බලපායි.. ආර්ථිකයට දැඩි හානියක් - සාලිය පීරිස්
මැදපෙරදිග ඇති වී ඇති යුද්ධ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනවත් බලපෑම් ඇති වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කර තිබෙනවා.
ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ලෝකයේ බලශක්ති සැපයුම්වලට බලපෑම් ඇති වන මෙම ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව "ආරක්ෂිත" බවට කිසිදු මුල්‍යමය හෝ ආර්ථික ආරක්ෂාවක් නොමැති බවයි.
සාලිය පීරිස් මහතාගේ සම්පූර්ණ ෆේස්බුක් සටහනේ දළ සිංහල පරිවර්ථනය
මැදපෙරදිග ඇති වී ඇති යුද්ධය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවේ යැයි අප කිසි ලෙසකින්වත් මුළාවකට ලක් නොවිය යුතුය.
මෙම අර්බුදය නිසා කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් ඇති වීමේ පැහැදිලි අවදානමක් පවතී.
දැනටමත් ලෝක තෙල් මිල ඉහළ ගොස් ඇති අතර ස්වභාවික ගෑස් නිෂ්පාදනයේ සීමාවන් ද ඇති වී තිබේ. මේවා ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කරනු ඇති බව පැහැදිලිය.
මෙම යුදමය වාතාවරණයෙහි ප්‍රතිවිපාක ලෙස විදේශ විනිමය අනුපාතයන්හි උච්ඡාවචනයන්; යුරෝපයෙන් හා මැදපෙරදිගින් එන සංචාරක ආගමනයන්ට සිදු විය හැකි බලපෑම්; තේ අපනයනයට ඇති වන බාධක සහ විදේශ රැකියා හා විදේශ ප්‍රේෂණ වලට ඇතිවිය හැකි බලපෑම් යනාදිය සිදුවිය හැකිය.
ශ්‍රී ලංකා රජය විසින් මෙම අභියෝග කල් තබා හඳුනාගෙන, ආර්ථිකයට ඇති විය හැකා විනාශකාරී බලපෑම් වළක්වා ගැනීම සඳහා කල් තබා සැලසුම් කිරීම ප්රඥාගෝචරවේ. මෙම ක්‍රියාවලියේදී සමහර විට දුෂ්කර තීරණ ගැනීමට සිදුවිය හැකිය.
රජය විසින් මහජනයාට මෙම අවදානම් පිළිබඳව දැනුම් දීම සහ ඒවා අවම කිරීම සඳහා කරනු ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මහජනයා විශ්වාසයෙන් යුතුව තබාගැනීම වැදගත් වේ. එවැනි ක්‍රියාමාර්ග තුළින් විශ්වාසය ගොඩනැගේ.
කොවිඩ් කාලයේදී (2020-22) සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා නිතරම මහජනයාට රජයේ සැලසුම් පිළිබඳව දැනුම් දුන් අතර එමගින් එම රජය කෙරෙහි විශ්වාසය ඇති කළේය.
අප රටේ 2022-23 ආර්ථික අර්බුදය ඇති වූයේ ආර්ථිකය බුද්ධිමත්ව කළමනාකරණය කිරීමට අපොහොසත් වීම නිසා පමණක් නොව, කාලෝචිත හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම නිසා ද බව අප අමතක නොකළ යුතුය.
⁃ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්