අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කෙරේ
මෙක්සිකෝවේ දරුණු අපරාධකරු සහ දරුණු මත්ද්‍රව්‍ය කල්ලියේ නායකයෙක් වන Nemesio Oseguera Cervantes හෙවත් El Mencho, ආරක්ෂක මෙහෙයුමකදී මියගොස් ඇති බව මෙක්සිකෝ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඊයේ (22) මධ්‍යම-බටහිර ජැලිස්කෝ ප්‍රාන්තයේ Tapalpa නගරයේදී, ඔහුගේ ආධාරකරුවන් සහ හමුදාව අතර ඇති වූ ගැටුම්වලදී El Mencho බරපතළ තුවාල ලබා, මෙක්සිකෝ සිටි වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇති බව සඳහන් වේ.
මෙම මෙහෙයුමේදී El Mencho ඇතුළු CJNG කල්ලී සාමාජිකයන් සිව්දෙනකු මියගොස් ඇති අතර, හමුදා භටයන් තිදෙනකු තුවාල ලබා ඇත.
මෙහෙයුම සඳහා රථ, රොකට් විදිනයන් ඇතුළු නවීන ගිනිඅවි භාවිතා කරන ලදී. මෙහෙයුම සඳහා අත්‍යවශ්‍ය තොරතුරු ලබා දුන්නේ අමෙරිකා එක්සත් ජනපදය වන බවද සඳහන් වේ.
මෙයට ප්‍රතිචාර වශයෙන් CJNG කල්ලී සාමාජිකයන් ප්‍රාන්තයේ ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරමින් මෝටර් රථ ගිනි තබා, මාර්ග බාධක යොදමින් කලහකාරී හැසිරීම් දැක්වූ බවත්, මෙක්සිකෝ ජනාධිපතිනි Claudia Sheinbaum Pardo ජනතාවගෙන් සන්සුන්ව සිටීමට ඉල්ලීමක් කළ බවද සඳහන් වේ.
59 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියකු වන El Mencho, අමෙරිකාවට කොකේන්, මෙතම්ෆෙටමින් සහ ෆෙන්ටැනයිල් වැනි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණවලින් ප්‍රවාහනය කරන දැවැන්ත අපරාධ ජාලයක් මෙහෙයවා ඇති අතර, ඔහු අල්ලා දීමට අමෙරිකානු රජය ඩොලර් මිලියන 15ක ත්‍යාගයක් දෙන බවට සඳහන් කර තිබුණි.