ජනතාවාදී පාලනයක් යටතේ මැයි දිනය සැමරීම සුවිශේෂීයි නි. ඇමති අනිල් කියයි

Report

දශක හතකට අධික කාලයක් පැවති පවුල්වාදී සහ දූෂිත දේශපාලන ක්‍රමය පරාජය කර මනුෂ්‍යත්වය ඉහළින් ඔසවා තැබූ ජනතාවාදී පාලනයක් යටතේ මැයි දිනය සැමරීම සුවිශේෂී කාරණයක් බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සදහන් කර ඇත .

‘ජනරජයට ජනබලයක් – මාලිමාවේ මැයි රැලිය’ තේමාව යටතේ සමරනු ලබන 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර  තිබේ . 

රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ප්‍රමාණාත්මක වැටුප් වැඩිකිරීමක් ලබාදීමට රජය කටයුතු කර තිබෙන බවත් පවතින කම්කරු නීති සංශෝධනය කිරීම සහ නව නීති හඳුන්වා දීම හරහා ශ්‍රමයේ අභිමානය සුරක්ෂිත කිරීමටත්, ඵලදායී හා සාමකාමී කම්කරු සබඳතා ගොඩනැඟීමටත් පියවර ගෙන ඇති බවත් එතුමා සදහන් කර ඇත.

  ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට, මහත් වූ අභියෝග මධ්‍යයේ නැවත ස්ථාවරත්වය කරා ගෙන යෑමට හැකි වීම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි .

ඕනෑම අභියෝගයකට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමත්, එහි ප්‍රතිලාභ සියලු ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යන සමාජයක් නිර්මාණය කිරීමත් රජයේ ප්‍රධාන අරමුණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ .

එමෙන්ම රටෙහි ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් ජනතාව අපේක්ෂා කළ විසල් පරිවර්තනය සිදුකිරීම සඳහා අඛණ්ඩව හා අධිෂ්ඨානශීලීව කැපවන ලෙස අමාත්‍යවරයා සියලු වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  තවද කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් සමස්ත වැඩ කරන ජනතාවට සහ ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට සුවිසල් ජයග්‍රහණ ප්‍රාර්ථනා කරන අතර ගෞරව ප්‍රණාමය පුදකර සිටියි.