අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු එළඹෙන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
එදින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක ඇයගේ දේහය තැන්පත් කර තැබෙන අතර, ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා එහිදී අවස්ථාව සලසා දී තිබේ.
කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 68 වැනි වියේ පසුවූවාය. බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක ලෙස ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් ඇය, "කැන්ඩි ළමිස්සි", "රහසයි සොඳුරු ජීවේ", "සිහින නෙළුම් මල්", "නෙළුම් මලේ පෙති කඩලා", "කුමරාණනේ" සහ "යොවුන් සීන ලෝකේ" ඇතුළු අතිශය ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් දශක ගණනාවක් පුරා රසික හදවත් දිනාගත් කලාකාරිනියක ලෙස සැලකේ.