"නීතිය හැමෝටම එක සමාන වෙන්න ඕනේ''- සාගර කාරියවසම්ගේ අත්අඩංගුවට ගැනීම ගැන මනෝ ගනේසන්ගෙන් සැර ප්‍රකාශයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් කනස්සල්ල පළ කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් කාරියවසම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම ප්‍රකාශය මරණ තර්ජනයක් ලෙස පොලිසිය විසින් චෝදනා කර තිබිණි.
පසුව ඔහු ඇප මත මුදා හැරුණි. කෙසේ වෙතත්, ‘X’ සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් මනෝ ගනේසන් සඳහන් කර ඇත්තේ එවැනි ප්‍රකාශ නිදහස් භාෂණයේ සීමාවන් තුළට අයත් වන්නේද යන්න අධිකරණය හමුවේ පරීක්ෂා කළ යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දෙනු ඇති බවද ඔහු පෙන්වා දී තිබේ. එමෙන්ම, බලයේ රැඳී සිටීම සඳහා “ලක්ෂ ගණනක් සමූලඝාතනය කරන” බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ රජයේ දේශපාලනඥයන් සම්බන්ධයෙන්ද පොලිසිය එම නීතිමය ප්‍රමිතීන්ම ක්‍රියාත්මක කර තිබේදැයි ගනේසන් මහතා ප්‍රශ්න කර තිබේ.
එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කර තිබේදැයි විමසමින් ඔහු අවධාරණය කර ඇත්තේ නීතිය තෝරා බේරා ක්‍රියාත්මක කිරීම නීතිය ඉදිරියේ සමානාත්මතාව පිළිබඳ මූලධර්මයට හානි කරන බවයි.
“ක්‍රීඩා පිටිය සැමට සමතලා විය යුතුයි” යනුවෙන් අවධාරණය කරමින් ගනේසන් පවසා ඇත්තේ ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරමින්, අනෙක් අයගේ සමාන ප්‍රකාශ නොසලකා හැරීම පිළිගත නොහැකි බවයි.