ගංගාරාමය අසල බේරේ වැවේ වසර ගණනක කුණු-රොන්මඩ අදින්න ලොකු වැඩක් ඇරඹේ

Report

වසර ගණනාවක් තිස්සේ අවිධිමත් නාගරීකරණය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති කොළඹ බේරේ වැව ප්‍රතිසංස්කරණය කර එහි ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් රජය ආරම්භ කර තිබේ.

නගරයෙන් බැහැර කරන අපද්‍රව්‍ය, අපජලය සහ කසළ දිගු කලක් තිස්සේ වැවට එකතු වීම හේතුවෙන් බේරේ වැව දැඩි ලෙස අපවිත්‍ර වී ඇති අතර, මෑතකදී ඇල්ගී සහ සයනොබැක්ටීරියා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා එහි ස්වභාවික සෞන්දර්යයටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මෙම තත්ත්වය පරිසරයට මෙන්ම අවට පදිංචිකරුවන්ට සහ දිනපතා කොළඹ නගරයට පැමිණෙන ජනතාවටද සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසක් මතු කර ඇති බව බලධාරීහු පෙන්වා දෙති.

LED බල්බ් පාවිච්චි කරන හැමෝටම හදිසි දැනුම්දීමක් - ප්‍රමිතිය නැති බල්බ් විකුණන අයට වැඩ වරදී

LED බල්බ් පාවිච්චි කරන හැමෝටම හදිසි දැනුම්දීමක් - ප්‍රමිතිය නැති බල්බ් විකුණන අයට වැඩ වරදී

බේරේ වැවේ අයිතිය සහ නඩත්තු කටයුතු භාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව, වැවේ ජලය නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීමේ සෘජු වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පවරා තිබේ.

ඒ අනුව, වැවේ ස්ථාන 35කින් ලබාගත් ජල සාම්පල පරීක්ෂා කිරීමේදී නයිට්‍රජන්, පොස්පරස් සහ ඇමෝනියා ඇතුළු අහිතකර රසායනික ද්‍රව්‍ය ඉහළ මට්ටමක පවතින බවත්, ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය අඩු කරන දූෂක ද්‍රව්‍ය රැසක්ද වැවට එක්ව ඇති බවත් අනාවරණය වී ඇත.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබේ.

එම වැඩසටහන යටතේ, වැවේ පාවෙන කසළ හා සුන්බුන් ක්‍රමානුකූලව ඉවත් කිරීම, ආක්‍රමණශීලී ජලජ වල් පැළෑටි ඉවත් කර වැව් ඉවුරු පිරිසිදු කිරීම, ජලයේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් නිරීක්ෂණය කර දූෂණයට හේතු වන මූලාශ්‍ර හඳුනා ගැනීම, ගංගාරාම විහාරස්ථානය ආසන්න නිරිතදිග බේරේ වැව් කලාපයේ වසර ගණනාවක් තිස්සේ එකතු වී ඇති රොන්මඩ කඩිනමින් ඉවත් කිරීම යන කටයුතු ක්‍රියාත්මක කෙරේ.

බලධාරීන් පවසන්නේ, මෙම රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මඟින් වැවේ ජල සංසරණය විධිමත් වන අතර, ඉදිරි නඩත්තු කටයුතු පහසු කිරීම සහ බෝට්ටු ගමනාගමනය යළි ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිමද සකස් වනු ඇති බවයි.