රු. මිලියන 500ක් වන්දි ඉල්ලා හරක් කටාගේ බිරිඳ නඩු මගට
නඳුන් චින්තකගේ බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති, තම සැමියා මලයාසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමඟ පොලිස් අත්අඩංගුවට පත්වූ බවට අසත්‍ය පුවතක් පළ කළ මාධ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලමින් නීතිමය එන්තරවාසි යොමු කර ඇත.
මෙම එන්තරවාසි යොමු කර ඇත්තේ ඇයගේ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඔස්සේ ය. මෙම එන්තරවාසිවල සඳහන් වන්නේ, අදාළ මාධ්‍ය ආයතන විසින් පළ කළ පුවත මුළුමනින්ම අසත්‍ය වන අතර, එය නඳුන් චින්තකගේ සහ ඔහුගේ පවුලේ සමාජ ගෞරවයට හානි කිරීමට හේතු වූ බවයි.
මෙම අසත්‍ය පුවත් පළ කිරීම හේතුවෙන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට ද බරපතළ බලපෑමක් එල්ල වූ බව එන්තරවාසිවල වැඩිදුරටත් දැක්වේ.
මහවැව මහේෂිකා මධුවන්ති විසින් ඉල්ලා ඇති රුපියල් මිලියන 500ක වන්දි මුදල, මෙම අසත්‍ය පුවත් හේතුවෙන් ඇයට සහ ඇයගේ පවුලට සිදු වූ මානසික පීඩාව, ගෞරවයට හානි වීම සහ සමාජ තත්ත්වයට එල්ල වූ හානිය වෙනුවෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.
මෙම එන්තරවාසි ලබා ගත් මාධ්‍ය ආයතනවලට ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා නිශ්චිත කාලයක් ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහවැව මහේෂිකා සහ ඇයගේ නීතිඥවරයා සූදානමින් සිටින බවද වාර්තා වේ.
මෙම සිදුවීම මාධ්‍යවල වගකීම් සහ ආචාර ධර්මවල වැදගත්කම පිළිබඳව සමාජය තුළ නැවතත් කතිකාවක් ඇති කර ඇති අතර, අසත්‍ය පුවත් පළ කිරීමේ බරපතළ ප්‍රතිවිපාක පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.
එන්තරවාසියයි
මාගේ සේවාදායිකාව වන නදුන් චින්තක වික්‍රමරත්න යන අයගේ බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති යන අයගේ උපදෙස් සහ ඉල්ලීම පරිදි මෙම දැන්වීම ඔබ වෙත සිදු කරමි.
ඔබගේ මාධ්‍ය ජාලයට අයත් වෙබ් අඩවියේ සහ You tube නාලිකා වල සහ ප්‍රවෘත්ති විකාශයන් වල අද දහවල් පහත ආකාරයේ ප්‍රවෘත්තියක් පළ කර තිබුණි.
''මලයාසියාවේදී අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන කමාන්ඩෝ සලින්ත සමග දැනට මෙහි බන්ධනාගාරගතව සිටින නදුන් චින්තක නොහොත් හරක් කටාගේ නීත්‍යාතුකූල බිරිඳ සහ ඇගේ දරුවා මලයාසියා පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි තොරතුරු වාර්තා වනවා''.
නදුන් චින්තක වික්‍රමරත්නගේ බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති යන මාගේ සේවාදායිකාවගේ උපදෙස් පරිදි මා ඔබ වෙත දන්වා සිටින්නේ මෙම ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය සහ වැරදි ප්‍රවෘත්තියක් වන බවයි. එසේම මා සේවාදායිකාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඇයට එලෙස අත්අඩංගුවට පත්වීමට කිසිදු වරෙන්තුවක් හෝ චෝදනාව නොමැති බවත්, ඇය තම දරුවා සමඟ සුපුරුදු පරිදි තම නිවසේ වාසය කරන බවත්ය.
එසේම මාගේ සේවාදායිකාව සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කිසිදු සොයා බැලීමකින් තොරව ඔබ ආයතනයට අයත් ප්‍රවෘත්ති නාළිකා වල විකාශනය කළ මෙම අමූලික අසත්‍යය ප්‍රවෘත්තිය පිළිබඳ බරපතල අප්‍රසාදය පළ කර සිටින අතර මෙම ප්‍රවෘත්තිය මගින් තමන්ට හා තම දරුවාට බරපතල පීඩාවක් හා තම කීර්ති නාමයට බරපතළ හානියක් ගෙන දුන් බව ප්‍රකාශ කර සිටී.
එම නිසා මාගේ සේවාදායිකාවගේ උපදෙස් මත මා ඔබ වෙත දන්වා සිටින්නේ වහාම එම ප්‍රවෘත්තිය නිවැරදි කර එකී නිවැරදි කිරීම නැවත පළ කරන ලෙසය.
එසේම ඔබ විසින් එසේ එකී අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කර නැවත පළ කිරීමට කටයුතු නොකළ හොත් ඔබට එරෙහිව මාගේ සේවාදායිකාවගේ කීර්ති නාමයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරීමටද මාගේ සේවාදායිකාව මා හට උපදෙස් ලබා දී ඇත.
ස්තූතියි
මෙයට විශ්වාසි
නීතිඥ උදුල් ප්‍රේමරත්ත



