ගොවි ජනතාවට සෙත සලසමින් මහමාන්කඩවල වැව් බැම්මේ වැඩ ඇරඹේ
මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සහ ගේට්ටු සහිත වාන් දොරක් ඉදිකිරීම “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ ඊයේ (02) ආරම්භ කෙරිණ.
මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එහි ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 83.20ක් වේ.
අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ වාරි ව්‍යාපෘති ජනතා කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන අතර, ගොවි ජනතාවට සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැඩි සහන ලබාදීමට රජය උත්සාහ කරමින් සිටින බවය.
වී මිල ස්ථාවර කිරීම, පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික සැපයුම් ශක්තිමත් කිරීම පිළිබඳවද ඔහු මෙහිදී අදහස් පළ කළේය.
ලෝකයේ විවිධ යුද්ධ තත්ත්වයන් පැවතියද මෙරට ප්‍රධාන ආර්ථික හා කර්මාන්ත ක්ෂේත්‍ර කිසිවක් බිඳ වැටීමට ඉඩ නොදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන හිඟයක් ඇතිවීමද වළක්වා ගැනීමට හැකි වූ බවත්, පෞද්ගලික පොහොර සමාගම් රජයට සහය වෙමින් ගොවීන්ට අවශ්‍ය පොහොර සැපයීමට දායක වූ බවත්ය.
එමෙන්ම එම සමාගම් සතුව තිබූ පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැරීමටද සහාය ලබාදුන් බව ඔහු සඳහන් කළේය. පෞද්ගලික ආයතන පිළිබඳව ඇති විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි ආයතන ගොවීන්ට සහ රජයට සේවය කරන බවත්, ඉදිරියේදී පොහොර මිල පහළ යාම අපේක්ෂා කරන බවත්ය.