නඩු ප්‍රමාදයට තිත තබන්න අලුත් ඇප් එකක් - අධිකරණයේ සාක්ෂි සටහන් කරන්න හඬ ටයිප් කිරීමේ තාක්ෂණය
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, විවෘත අධිකරණ නඩු විභාගවලදී සාක්ෂි පටිගත කිරීම සඳහා නව යෙදුමක් හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ.
මෙම යෙදුම මඟින් හඬ ටයිප් කිරීමේ තාක්ෂණය භාවිත කර අධිකරණය හමුවේ ලබාදෙන සාක්ෂි නිවැරදිව පෙළ බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
එමෙන්ම, එක් එක් සාක්ෂිකරුගේ හඬ වෙන වෙනම හඳුනාගත හැකි ආකාරයට යෙදුම සැලසුම් කර ඇති අතර, සාක්ෂිකරුවෙකු යළි සාක්ෂි ලබාදීමේදී ඇතිවිය හැකි ව්‍යාකූලතා වළක්වා ගැනීමට එය උපකාරී වනු ඇත.
නඩු වාර්තා සහ නීතිමය සටහන් ලබාගැනීමේ ප්‍රමාදයන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ දිගුකාලීන ගැටලුවක්ව පවතින අතර, එම තත්ත්වය නඩු විභාග නැවත නැවත කල් දැමීමටද හේතුවී තිබේ.
බලධාරීන් සඳහන් කරන්නේ මෙම නව යෙදුම මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණවල භාවිතයට හඳුන්වා දීමෙන් නඩු කටයුතුවල ප්‍රමාදයන් අවම කර කාර්යක්ෂමතාව වැඩි කිරීමට හැකි වනු ඇති බවයි.