දුම්රිය වර්ජනය නිසා පාඩුව කෝටි ගණන්
උසස් වීම් හා සේවක පුරප්පාඩු සඳහා විසඳුම් නැතැයි කියමින් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් පෙරේදා (17 වැනිදා) සංකේත වැඩවර්ජනයක් සිදු කරනු ලැබුවා.
එම සංකේත වැඩ වර්ජනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් සිදුව තිබෙනවා.
මෙම වර්ජනය හේතුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම්, ආසන වෙන්කිරීම්, සංඥා ලබාදීම්, පාර්සල් බාර ගැනීම් හා නිකුත් නොකිරීම් සිදුව තිබුණු අතර දුම්රිය ගමන් වාර 200 ක් ද අවලංගු කිරීමට සිදුව තිබිණි.
දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන්නේ දුම්රිය ගමන්වාර 275 ක් සෙනසුරාදා ධාවනය කරවීමට සැලසුම් යොදා තිබුණත් එදින ධාවනය වී ඇත්තේ ගමන්වාර 75 ක් පමණක් බවයි.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ මෙම වර්ජනය මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළත් අනිද්දා (21 වැනිදා) වනවිට තම ගැටලුවලට සාධනීය විසඳුමක් නොලැබුණහොත් සිදු කළ සංකේත වැඩ වර්ජනය අඛණ්ඩ වර්ජනයක් ලෙස බ්‍රහස්පතින්දා (22 වැනිදා) සිට ආරම්භ කරන බවය.
කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ මෙම වර්ජනය අසාධාරණ වෘත්තිය ක්‍රියාමාර්ගයක් බවය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 909 ක් පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබාගෙන ඇති බවත් ඒ අතර දුම්රිය ස්ථානාධිපති තනතුරු 106 ක් ද වන බවත් සඳහන් කරන ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ වර්ජනවලට අමාත්‍යංශය හෝ රජය පසුබට නොවන බවයි.
