LOLC සමාගමෙන් විශේෂ නිවේදනයක් - මහජන බැංකුව ගැන යන අසත්ය තොරතුරු එළියට
LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී (LOLC Holdings PLC) සමාගම විසින් LOLC සමූහය සහ මහජන බැංකුව අතර සිදුවූ බැංකු ණය පහසුකමක් සම්බන්ධයෙන් අන්තර්ජාලය සහ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන නොමඟ යවන සුළු සහ අසත්ය තොරතුරු ප්රතික්ෂේප කර ඇත.
LOLC සමාගම සඳහන් කරන්නේ, අදාළ දේශීය මුදල් ණය ලබාගැනීම මහජන බැංකුවේම පවත්වාගෙන යනු ලබන ඇමරිකානු ඩොලර් තැන්පතුවකට හිමිකම් කියමින් ලබාගෙන ඇති බවත්, එම ණය පහසුකම වෙනුවෙන් බැංකුව සතුව පූර්ණ ඇපකරයන් පවතින බව කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල පැහැදිලි කිරීමක් සිදු කරමින් පවසා ඇත.
එම සමූහය පවසන්නේ තම ගෝලීය භාණ්ඩාගාර මෙහෙයුම්වල කොටසක් ලෙස, මහජන බැංකුව ඇතුළු ජාත්යන්තර සහ දේශීය බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලර් තැන්පතු පවත්වාගෙන යන බවයි. ශ්රී ලාංකේය සමූහ ව්යාපාරයන්හි දේශීය අරමුදල් ලබා ගැනීම සඳහා ඇපකරයක් ලෙස භාවිතා කරනු ලබන්නේ මෙම ඩොලර් තැන්පතුවල වටිනාකමයි.
LOLC සමාගම අවධාරණය කරන්නේ එම තැන්පතුවේ පැවැත්ම හෝ එය පවතින ස්ථානය පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින බවටත්, මහජන බැංකුවට හඳුනා නොගත් විදේශීය දේපලක් අත්පත් කර ගැනීමට සිදුවන බවටත්, නැතහොත් මෙම ගනුදෙනුව මහජන තැන්පතු අවදානමේ හෙළන ඇප රහිත නිරාවරණයක් බවටත් කෙරෙන ප්රකාශයන්හි කිසිදු සත්ය පදනමක් නොමැති බවයි.
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - වීසා බලපත්රය අහිමි වෙන්න කලින් දැනුවත් වෙන්න
මෙය සාමාන්ය භාණ්ඩාගාර ගනුදෙනුවක් ලෙස හඳුන්වමින් එම සමූහය සඳහන් කරන්නේ, මෙම ක්රමවේදය මඟින් තම ඇමරිකානු ඩොලර් වත්කම් සුරක්ෂිතව තබා ගනිමින් ශ්රී ලංකාව තුළ මෙන්ම රටවල් 27 ක් පුරා පැතිරුණු සිය ජාත්යන්තර මෙහෙයුම් සඳහා දේශීය මුදල් අරමුදල් රැස් කිරීමට හැකියාව ලැබෙන බවයි. සමාගම වැඩිදුරටත් පවසන්නේ ලොව පුරා බහුජාතික සමාගම් විසින් බහුලව භාවිත කරනු ලබන භාණ්ඩාගාර සහ විදේශ විනිමය අවදානම් කළමනාකරණ පිළිවෙත්වල කොටසක් ලෙස මෙවැනි වැඩපිළිවෙලවල් ක්රියාත්මක වන බවයි.
LOLC සමාගම පෙන්වා දෙන්නේ මෙම ගනුදෙනුව ප්රශ්නගත බැංකු පිළිවෙතක්, විදේශ විනිමය සමපේක්ෂණයක් (speculative transaction) හෝ මහජන මුදල් අවභාවිතයක් ලෙස නිරූපණය කිරීමට දැරූ උත්සාහයන් සත්ය තොරතුරුවලින් තොර බවයි. මෙවැනි අසත්ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්රකාශයට පත් කිරීම සහ ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අදාළ නියාමන සහ වෙනත් බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ද එම සමූහය පවසයි.
එමෙන්ම, නීතිමය රාමුවට යටත්ව, මෙම අසත්ය සහ නොමඟ යවන සුළු තොරතුරු නිර්මාණය කළ, ප්රකාශයට පත් කළ, දැනුවත්ව නැවත ප්රකාශ කළ හෝ නොසැලකිලිමත් ලෙස අඛණ්ඩව ප්රචාරය කිරීමට කටයුතු කළ පුද්ගලයින්ට සහ සංවිධානවලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමේ අයිතිය ද සමාගම විසින් තබා ගෙන ඇති බවයි.
LOLC සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ තම මෙහෙයුම් කටයුතු පාරදෘශ්ය හා වගකීම් සහගත ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන අතරම, සමූහයේ සහ සියලුම පාර්ශවකරුවන්ගේ නීත්යානුකූල හිමිකම් ආරක්ෂා කිරීමට සුදුසු සෑම පියවරක්ම ගන්නා බවයි.