ගෝලීය ආර්ථිකය ගැන IMF කළ නවතම අනාවැකිය මෙන්න

Report

ජාත්‍යන්තර වෙළෙඳ බාධා සහ අර්බුද අතරතුරද ලෝක ආර්ථික වර්ධනය ශක්තිමත්ප අයුරින් පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කර තිබේ.

IMF පෙන්වා දෙනු ලබන්නේ තාක්ෂණික අංශය, විශේෂයෙන් කෘතිම බුද්ධිය (AI) ආශ්‍රිත ආයෝජනවල අධික නැඹුරුවක් හේතුවෙන් අවදානම් තත්ත්වයන් පවතින බවයි.

2026 වසර සඳහා ලෝක ආර්ථික වර්ධනය සියයට 3.3 ක ස්ථාවර මට්ටමක පවතිනු ඇති බව IMF ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයින් වන Pierre-Olivier Gourinchas සහ Tobias Adrian සඳහන් කරනු ලබයි.

එය ඔක්තෝබර් මාසයේ ප්‍රකාශිත ඇස්තමේන්තුවලට සාපේක්ෂව සියයට 0.2ක වැඩිවීමක් පෙන්නුම් කරන බවද වාර්තා වේ.

ඒ සදහා ප්‍රධාන කාරණය ලෙස පෙන්වා දෙන්නේ ස එක්සත් ජනපදය සහ චීනයේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමයි.

ඒ වගේම IMF ප්‍රකාශ කරනු ලබන්නේ තොරතුරු තාක්ෂණ ආයෝජන, විශේෂයෙන් AI ක්ෂේත්‍රයේ දැඩි වර්ධනය, ව්‍යාපාරික ආයෝජන සහ ආර්ථික ක්‍රියාකාරකම් උද්දීපනය කිරීමට ප්‍රධාන ලෙස දායක වී තිබෙන බවයි.

  ඒ අනුව මෙම වර්ධනය ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය තුළ සංකේන්ද්‍රණය වී තිබේ.

එහි ධනාත්මක බලපෑම් හේතුවෙන් ආසියාව ඇතුළු අනෙකුත් කලාපවල තාක්ෂණික අපනයන හරහා ලෝකය පුරා විහිදී යමින් ඇත. එහෙත්, තාක්ෂණික අංශය වටා ආයෝජන සහ වෙළෙඳපොළ අපේක්ෂා අධික ලෙස එකතුවීම හේතුවෙන්, ණය බර, සම්පත් අගයන් අධි වීම සහ ආදායම් අපේක්ෂා අසාර්ථක වුවහොත් හටගත හැකි මුල්‍ය අවදානම් පිළිබඳවද IMF අවධානය යොමු කර ඇති බව සදහන්ය.

ඒ අනුව 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වූ IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය පවසා සිටියේ, කෘතිම බුද්ධිය හේතුවෙන් ලෝක ශ්‍රම වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල වන “සුනාමියක්” මතුවෙමින් පවතින බවය.

තවද IMF පෙන්වා දෙනු ලබන්නේ වෙළෙඳ බාධා නිසා ඇතිවන වර්ධන අඩු වීමේ බලපෑම් කාලයත් සමඟ තවදුරටත් තීව්‍ර වන බවයි.

තව දුරටත් ඇය සදහන් කළේ හොඳින් සූදානම් වූ රටවල පවා එම වෙනස්කම් සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් නොමැති බවයි.

මයික්‍රොසොෆ්ට් සභාපති බ්‍රැඩ් ස්මිත්, සෞදි අරාබියේ ආයෝජන අමාත්‍ය කාලිද් අල්-ෆාලිහ් සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනී වෛශ්නව් මහතා ද AI ලෝක ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳ පැවැති සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

මයික්‍රොසොෆ්ට් දත්ත අනුව, උත්පාදක AI (Generative AI) භාවිතා කරන්නේ ගෝලීය උතුරේ ජනගහනයෙන් සියයට 25ක් පමණ වන අතර, ගෝලීය දකුණේ එය සියයට 14කට පමණක් සීමා වී ඇත. මෙම ඩිජිටල් පරතරය තවදුරටත් විශාල වෙමින් පවතින බව බ්‍රැඩ් ස්මිත් මහතා පෙන්වා දුන්නේය.

තවද ඔහු අවධාරණය කළේ ගෝලීය දකුණ පුරා මූලික යටිතල පහසුකම් සංවර්ධනය නොකළහොත් AI මඟින් මෙම පරතරය අඩු කළ නොහැකි බවයි. සමහර රටවල දත්ත විද්‍යාඥයින්ගේ හිඟය පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

සංඛ්‍යාන දත්ත අනුව හෙළිව ඇත්තේ අප්‍රිකාවේ එක් දත්ත විද්‍යාඥයෙකුට සමානව යුරෝපයේ දත්ත විද්‍යාඥයින් 14 දෙනෙකු සිටින බවයි.