ත්‍රිපෝෂ සමාගමෙන් සුභ ආරංචියක් - ආයේ ත්‍රිපෝෂ හිගයක් ඇති වෙන්නේ නැහැ

By Ashfa Feb 18, 2026 11:28 AM GMT
Report

ලංකා ත්‍රිපෝෂ සමාගමට බඩ ඉරිඟු සැපයීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අද(18) එම සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනික බඩ ඉරිඟු මිලදී ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායක් වන ලංකා ත්‍රිපෝෂ සමාගම එවැනි අවබෝධතා ගිවිසුමකට එළඹි පළමු අවස්ථාව මෙයයි.

මෙම මස 03වනදා ප්‍රකාශිත අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා අතර අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (18) දින සිදු විය.

එම ගිවිසුම අනුව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 4000ක තොගයක් මෙරටට ආනයනය කිරීමට නියමිත අතර එහි පළමු තොගය වන මෙ.ටො. 1500ක් මාර්තු මස පළමු සතිය වන විට මෙරටට ආනයනය කර ලංකා ත්‍රිපෝෂ සමාගමට ලබාදීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ලංකා ත්‍රිපෝෂ සමාගමේ ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව සිදුකිරීමට හැකියාව ලැබෙන අතර ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ දරුවන්ට හිඟයකින් තොරව ත්‍රිපෝෂ ලබාදීමට හැකිවන බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පැවසුවා.