මුළු මැදපෙරදිගම කලඹමින් හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි
හමාස් සංවිධානයේ සමස්ත නායකයා ලෙස කලීල් අල්-හයියා (Khalil Al-Hayya) පත් කර ඇති බව එම සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
2024 ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ යාහ්යා සින්වර් වෙනුවට ඔහු මෙලෙස සංවිධානයේ ඉහළම ධුරයට පත්ව ඇත.
හමාස් සංවිධානයේ ප්‍රධාන සාකච්ඡාකරුවෙකු ලෙස ද කටයුතු කරන කලීල් අල්-හයියා, දැනට කටාර් රාජ්‍යයේ ඩෝහා අගනුවර පිටුවහල්ව ජීවත් වන අතර ඔහු වඩාත් දැඩි මතධාරී නායකයෙකු ලෙස ප්රකටය.
2023 ඔක්තෝබර් මස එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඇරඹුණු වසර දෙකකට අධික යුදමය තත්ත්වය හේතුවෙන් හමාස් සංවිධානය දැඩි පසුබෑමකට ලක්ව සිටින වටපිටාවක මෙම නව නායකත්ව පත්වීම සිදුවීම විශේෂත්වයකි.
මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ සංවිධානය ඉදිරියට මෙහෙයවීම සහ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යාම නව නායකයා වෙත පැවරෙන ප්‍රධාන වගකීමක් වනු ඇත.