ගංවතුරට පාලනයට කැලණි ගඟ හල්මුල්ල ඉවුරු ආරක්ෂණ වැඩ ඇරඹේ

Report

කැලණි ගංගා ජලයෙන් සහ නිරන්තර ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දැඩි ඉවුරු ඛාදනයට ලක්ව ඇති වැල්ලම්පිටිය, කොටුවිල, හල්මුල්ල ප්‍රදේශ ආශ්‍රිත ඉවුරු ඛාදනය වැළැක්වීමේ නව ආරක්ෂණ බැම්ම ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණ.

කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොටුවිල, හල්මුල්ල ග්‍රාමය කැලණි ගඟේ ඉවුරු ඛාදනය හේතුවෙන් දැඩි අවදානම් ප්‍රදේශයක් බවට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් මාර්ග, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ඇතුළු පොදු හා පෞද්ගලික දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

මාධ්‍යවේදීන් නගා සිටුවීමට ප්‍රංශයෙන් නව වැඩපිළිවෙලක්

මාධ්‍යවේදීන් නගා සිටුවීමට ප්‍රංශයෙන් නව වැඩපිළිවෙලක්

පසුගිය කාලයේ සිදුවූ ඉවුරු ඛාදනය හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස කිහිපයකට අනතුරු සිදුවී ඇති අතර, එහිදී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වූ බවද ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව හල්මුල්ල ගං ඉවුරු සංරක්ෂණ ව්‍යාපෘතිය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මූලික පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් යටතේ කැලණි ගඟ වම් ඉවුරු සංරක්ෂණ වැඩසටහනට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ගඟ පතුලේ සිට ඉහළට ඉදිකෙරෙන මීටර් 600ක් දිග ආරක්ෂණ බැම්ම සඳහා රුපියල් මිලියන 157ක් වැය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ඉවුරු ආරක්ෂාවට අමතරව ගංවතුර තත්ත්ව පාලනයටද උපකාරී වනු ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ වාරි කලාප කාර්යාලයේ අධීක්ෂණය යටතේ චමින්ද කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් ඉදිකිරීම් සිදුකරනු ලබන අතර, ව්‍යාපෘතිය මාස හතරකින් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

ඉදිකිරීම් ආරම්භ අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ ‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් කොලොන්නාව මැතිවරණ කොට්ඨාසය දැඩි ලෙස පීඩාවට පත්වූ බවත්, කැලණි ගඟ සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම ජාතික අවශ්‍යතාවයක් බවත්ය.

අවිධිමත් සංවර්ධන ක්‍රියාකාරකම් සහ පසුගිය කාලයේ සිදු වූ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට හා ජනතාවට බරපතල තර්ජන එල්ල වී ඇති බවද ඔහු සඳහන් කළේය. පරිසරය හා මිනිසා සමගාමීව ජීවත් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

කොලොන්නාව ජනතාව ගංවතුරෙන් ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක හා විධිමත් ප්‍රවේශයකින් ස්ථිරසාර විසඳුම් ක්‍රියාත්මක කරන බවත්, NBRO වාර්තා පදනම් කරගනිමින් ජීවිත, දේපළ සහ ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති චන්ද්‍රසිරි පරණවිතාන, මන්ත්‍රීවරුන් වන සුමිත් සුනන්ද, ඉන්දිකා තුෂාරි, කොලොන්නාව නගර සභා මන්ත්‍රී හර්ෂ නලින් හේමරත්න, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඉදිකිරීම් සමාගමේ නියෝජිතයින් ඇතුළු නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු රැසක් සහභාගී වූහ. 

ශ්‍රී ලාංකිකයන්ට සුභම සුභ ආරංචියක් - රජයේ රාජ්‍ය මූල්‍ය විනය නිසා රටම ගොඩ

ශ්‍රී ලාංකිකයන්ට සුභම සුභ ආරංචියක් - රජයේ රාජ්‍ය මූල්‍ය විනය නිසා රටම ගොඩ