ඇෆ්ගනිස්ථානයට එල්ල වූ පාකිස්ථාන ප්‍රහාරවලට ජාත්‍යන්තර විරෝධයක්
පාකිස්ථාන හමුදා බලධාරීන් විසින් කාබුල් නගරයේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරය මුස්ලිම් විද්වතුන්ගේ ජාත්‍යන්තර සංගමය දැඩි ලෙස හෙළා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සංගමය ප්‍රකාශ කර ඇත්තේ, මෙම ප්‍රහාරය ඉස්ලාමීය මූලධර්මවලට සහ ජාත්‍යන්තර නීතියට විරුද්ධ වන තහනම් ක්‍රියාවක් බවයි. ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර උත්සන්න වන නොසන්සුන්තාව පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින්, ඉස්ලාමාබාද් පාලනයට සහ හමුදා නායකත්වයට මෙවැනි ප්‍රහාර වහාම නතර කරන ලෙසද සංගමය ඉල්ලා සිටියේය.
එමෙන්ම, සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට සහ ජීවිත හානි පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට විනිවිදභාවයෙන් යුතු ස්වාධීන කොමිසමක් පිහිටුවන ලෙසද ඉල්ලා ඇත.
විදෙස් මාධ්‍ය අනුව, පෙබරවාරි 27 දින පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ඇෆ්ගනිස්ථානයට එරෙහිව “විවෘත යුද්ධයක්” ප්‍රකාශයට පත් කර ඇති අතර, එය දශක කිහිපයකට පසු දෙරට අතර ඇතිවූ දැඩිම යුද තත්ත්වය ලෙස සැලකේ.
මෙම ගැටුම් හේතුවෙන් දේශසීමා ආසන්නයේ ජීවත් වන පවුල් 16,000කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවද වාර්තා වේ.