මුණ බැඳ ගත්ත දෙන්නෙක් ඇවිත් අපේ වෙසක් කූඩුව කඩලා ගිහින් - යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් කූඩුව කුඩුපට්ටම් [PHOTO]
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පිහිටුවා තිබූ වෙසක් කූඩුව විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොප්පායි පොලිසිය දැඩි පරීක්ෂණ පවත්වා තිබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් සිංහල සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ වෙසක් කූඩු සකස් කර ඒවා විදුලි පහන් වලින් සරසා ඇත.
මේ ආකාරයෙන් සරසා තිබූ වෙසක් කූඩු ඉරිදා රාත්‍රියේ නාඳුනන පුද්ගලයින් විසින් හානි කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් විසින් කොප්පායි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
සිසුන් විසින් කරන ලද පැමිණිල්ලෙන් පසුව, එම ස්ථානයට ගිය කොප්පායි පොලිසිය සාක්ෂි එකතු කර වෙසක් කූඩු වලට හානි කළ පුද්ගලයින් සොයා දැඩි පරීක්ෂණ පැවැත්වීය. මේ අතර, විශ්වවිද්‍යාල පරිපාලනය ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඒ සමඟම, දෙමළ සහ සිංහල සිසුන් අතර වාර්ගික අසමගිය ඇති කිරීම සඳහා මෙවැනි විනාශකාරී ක්‍රියාවක් සිදු කර ඇති බව පවසමින් සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් මෙම සිදුවීම හෙලා දැක ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මව්බිම පුවත්පත කළ විමසීමකදී යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙ සිසුවෙකු පවසා ඇත්තේ මෙවන් අදහසකි.
“මෙවර වෙසක් පෝයට අපේ පීඨයේ සිංහල දෙමළ සිසුන් එකතුවෙලා පළමු වතාවට වෙසක් කූඩුවක් හැදුවා. ඊට අමතරව අපි බීම දන්සලක් සහ සව් දන්සලකුත් දුන්නා. පෙරේදා ඒ කියන්නේ 31 වන දා රෑ 12ට විතර මුණ බැඳ ගත්ත දෙන්නෙක් ඇවිත් අපේ වෙසක් කූඩුව කඩලා යනවා අපේ ළමයි දැකලා තියෙනවා. ඊට පස්සේ අපි පොලිසියට පැමිණිලි කළා”
මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එෆ්.යූ. වුට්ලර් මහතා පැවසූ බව වාර්තා වේ.