ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නවත්වයි - හිස්බුල්ලා සංවිධානයෙන් පොරොන්දුවක්
අමෙරිකානු සැලැස්මකට අනුව ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා සංවිධානය එකඟ වී ඇති බවත්, ඒ වෙනුවට ලෙබනනයේ අගනුවර වන බේරූට් වෙත ප්‍රහාර එල්ල නොකිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවත් ලෙබනන රජය ප්‍රකාශ කරයි.
අමෙරිකාවේ පිහිටි ලෙබනන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ ප්‍රහාර අන්‍යෝන්‍ය වශයෙන් නැවැත්වීම සඳහා වන අමෙරිකානු යෝජනාව හිස්බුල්ලා සංවිධානය විසින් පිළිගත් බවට නිල තහවුරු කිරීම් ලැබී ඇති බවය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද මෙම එකඟතාව තහවුරු කර ඇති නමුත්, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ නගර සහ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම නතර නොකරන්නේ නම් බේරූට් වෙත එල්ල කරන ප්‍රහාර ඉදිරියටත් ක්‍රියාත්මක වන බවට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදුකරන මිලිටරි ක්‍රියාමාර්ග දැනට පවතින අමෙරිකා-ඉරාන සටන් විරාමයට බරපතළ තර්ජනයක් බවට ඉරානය අනතුරු ඇඟවීමෙන් පසුව මෙම තත්ත්වය උද්ගත විය.
ඒ අනුව වහාම මැදිහත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු සහ හිස්බුල්ලා නියෝජිතයන් සමඟ සෘජුව සාකච්ඡා කළ බවත් සියලු වෙඩි තැබීම් වහාම නැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වූ බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම නිල නිවේදන නිකුත් කර ඇත.