රෝද හතරේ මාරයා පරද්දන්න වැඩ ඇරඹේ- බස් රියදුරන් ඉලක්ක කරමින් රට පුරාම ක්ෂණික වැටලීම්
පොදු ප්‍රවාහන සේවාවේ ආරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින්, රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා ක්‍රියාත්මක කරන ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන දිවයින පුරා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ මේ වන විට බස්නාහිර පළාතේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 5,242 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 239 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව තහවුරු වී ඇතැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා සඳහන් කළේය.
එම පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කර ඇති බවද ඔහු පැවසීය. මෙම වසර අවසන් වීමට පෙර වැඩසටහනේ පරිමාණය දෙගුණ කර බස්නාහිර පළාතෙන් පිටත අනෙකුත් පළාත්වලද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
මාර්ග අනතුරු, මරණ සහ ආබාධිත තත්ත්වයන් අවම කිරීම සඳහා මත්ද්‍රව්‍යවල බලපෑමෙන් තොර රිය පැදවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ඔහු, මෙම වැඩසටහනේ අරමුණ දඬුවම් පැනවීම පමණක් නොව, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ආරක්ෂිත රිය පැදවීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමද බව පැවසීය.
මේ අතර, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, බස්නාහිර පළාත තුළ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 11,000කට ආසන්න පිරිසක් මගී ප්‍රවාහන සේවයේ නිරත වන අතර, ඔවුන් සියලු දෙනාම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නොවන බවයි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ නීති කඩකරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවද ඔහු පැවසීය.
එමෙන්ම, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලයේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ, ජාතික මාර්ග ආරක්ෂණ සැලැස්මේ තිරසාර පියවරක් ලෙස මෙම ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ ඒකකය හඳුන්වා දුන් බවයි.
ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ මේ වන විට පරීක්ෂණ 15,000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, මාර්ග අනතුරු අවම කරමින් ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩසටහන ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවයි.